689. උන්වහන්සේ මිනිස් ලෝකයේ උපත ලැබුවා. තමාව දමනය කරගත්තා. සිත සමාධි ගත කරගත්තා. ඇවතුම් පැවතුම් ශ්‍රේෂ්ඨ කරගත්තා. සිතේ සංසිඳීම ඇතිකරගත්තා.
690. ලෝකේ තියෙන හැම දෙයකින්ම එතෙර වුණා. ඒ බුදු සමිඳුන්ට මිනිස්සු වඳිනවා. දෙවියොත් වඳිනවා. මේ ගැන මං ඇසුවේ රහතන් වහන්සේලාගෙන්.
691. හැම බන්ධනයකින්ම නිදහස් වුණ කෙලෙස් වනාන්තරයෙන් එළියට වැඩියා. කාමයන් අත්හැරලා නිදහස් ජීවිතයකට ඇලුණා. බුදු සමිඳුන් ගල්පර්වතයක් මුදුනින් නිදහසේ බිම වැටෙන රත්තරන් ආභරණයක් වගේ.
692. උන්වහන්සේ ඇත්තෙන්ම ලෝකයේ ඉන්න ලස්සනම හස්තියා වගෙයි. හැම පර්වතයක්ම පරදවපු ලස්සන හිමාල පර්වතය වගෙයි. සියලු දෙනා අතර හස්තියෙක් වගෙයි. අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේට පැවසිය යුතු නම ‘සත්‍යය’ යනුයි.
693. මං දැන් ඔබට ඒ සුන්දර හස්තිරාජයා ගැන කියන්ටයි හදන්නෙ. එයා පව් කරන්නෙ නෑ. ඒ හස්තියාගේ ඉදිරි පාද දෙක තමයි ශීලයයි, කරුණාවයි.
694. ඒ හස්තියාගේ පසු පාද දෙක සිහියයි, නුවණයි. ඒ ඇතාට ලස්සන හොඬවැලක් තියෙනවා. ඒකෙ නම ශ්‍රද්ධාව. සුදෝ සුදු දළ දෙකක් තියෙනවා. ඒක නම උපේක්ෂාව.
695. ඒ හස්තියාගේ ලස්සන බෙල්ල සත්‍යයයි. පුළුල් හිස කියන්නෙ ප්‍රඥාවටයි. එයාට තියෙනවා නුවණින් විමසන ධර්ම චින්තාවන්. එයාගෙ කුස සද්ධර්මයයි. එයාට තියෙනවා විවේකය නමැති වලිගයක්.
696. තමා තුළ ඉතා හොඳින් සමාධිගත සිතක් එයාට තියෙනවා. සම්පූර්ණයෙන්ම සංසිඳිලයි ඉන්නෙ. එයා භාවනා කරනවා. ඒ හස්තියා ඇවිදින්නෙ එකඟ වූ සිතින්. හිටගෙන ඉන්නෙත් එකඟ වූ සිතින්.
697. ඒ හස්තියා නිදාගන්නෙත් එකඟ වූ සිතින්. වාඩි වෙන්නෙත් එකඟ වූ සිතින්. හැම තැනදිම සංවරයි. මේ හස්තියාගේ සම්පත්තිය කියන්නේ ඒකටයි.
698. මේ හස්තියා ඉතා දැහැමිව ලැබෙන දේ පමණයි වළඳන්නෙ. වැළඳීම පිණිස අදැහැමි කිසිම දෙයක් ගන්නෙ නැහැ. ආහාර පාන වස්ත්‍ර ආදිය ලැබුණු විට කවදාවත් ඒවා එකතු කරන්නෙ නෑ.
699. ලොකු කුඩා හැම බන්ධනයක්ම නැති කරලයි ඉන්නෙ. යම් තැනකට යනවා නම් කිසිම අපේක්ෂාවක් නැතිවයි යන්නෙ.
700. වතුරේ හටගත්ත සුදු නෙළුම් මල පිපුණාම හරිම ලස්සනයි. සුවඳ හමනවා. නමුත් ඒ මල තියෙන්නෙ වතුර ගෑවි ගෑවී නොවෙයි.
701. මිනිස් ලොව පහළ වූ බුදු සමිඳුන් අන්න ඒ විදිහටමයි මේ ලෝකයේ වැඩවසන්නෙ. වතුර නොගෑවෙන නෙළුම් මලක් වගේ. උන්වහන්සේගේ ජීවිතය සමඟ ලෝකයට අයිති කිසි දෙයක් ගෑවෙන්නෙ නෑ.
702. ඇවිලෙන ගින්න නිවිල යන්නෙ තවදුරටත් ඇවිලෙන්නට දර නැති වූ විටයි. ඒ ගින්න නිවිල ගිහින් අඟුරු මතු වුණාම ගින්න නිවුණා යැයි කියනවා.
703. නිකෙලෙස් උතුමන් විසිනුයි මේ උපමාව කියල තියෙන්නෙ. රහත් මුනිවරු කියන්නේ මහා හස්තීන් වගේ පිරිසක්. මාත් ඒ වගේම හස්තියෙක් තමයි. ඒ නිසයි බුදු සමිඳානන් නමැති හස්ති රාජයාව මේ වගේ ලස්සනට හඳුනාගත්තේ.
704. බුදු සමිඳුන් නමැති ඒ හස්ති රාජයා තුළ රාගයක් නෑ. ද්වේෂයකුත් නෑ. මෝහයකුත් නෑ. ආශ්‍රවත් නෑ. ආශ්‍රව නැති නිසාම මේ සිරුර අතහරින කොටම පිරිනිවී යනවා.
මෙය වනාහී ආයුෂ්මත් උදායී නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
දහසයවෙනි නිපාතය නිමා විය.
(ගාථා දහසය බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_16-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M