ඛුද්දක නිකාය

විමානවත්ථු

3.2. ලච්ඡුදායිකා විමාන වත්ථු

3.2. ලච්ඡුදායිකා විමානය

297. පින්වත් දෙව්දුව, ඔබ නම් අහසත්, පොළොවත් එළිය කරන ඉරක් හඳක් වගේ. හැබෑවටම බබලනවා. සක් දෙවිඳු ප්‍රධාන තව්තිසා දෙවියන් පරදවලා බබලන බ්‍රහ්මරාජයෙක් වගේ ඔබත් බබලනවා. සිරියාවෙනුත් ශරීර සෝභාවෙනුත් යසසිනුත් තේජසිනුත් බබලනවා.

298. සුන්දර දෙව්දුව, නිල් මහනෙල් මල් මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නේ. ඔබට දිළිසෙන රන්වන් සමක් තියෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර වස්ත්‍රවලින් සරසාගෙනයි ඉන්නේ. ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කවුද?

299. ඔබ කලින් ජාතියකදී මොන වගේ පුණ්‍යකර්මයක්ද කරගත්තේ? හරි අගේට දන් පැන් පුදන්න ඇති නේද? එහෙම නැත්නම් ඉතා හොඳින් සිල් රැකගන්න ඇති. මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතු වුනේ මොන වගේ දෙයක්ද? පින්වත් දෙව්දුව, ඔය පුණ්‍යවිපාකය ලැබුණු පුණ්‍යකර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න.

300. ස්වාමීනී, දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පිණ්ඩපාතේ වැඩියේ. මගේ හිත පැහැදුනා. පුදුමාකාර ප්‍රීතියක් ඇතිවුනා. ඉතින් මං උක් දණ්ඩක් රැගෙන මුඹවහන්සේට පූජා කළා.

301. පස්සෙදි නැන්දා මගෙන් ඇහුවා, “ලෙහෙලියේ, උක් දණ්ඩ කොහෙද තිබ්බේ?” කියලා. මං එතකොට මෙහෙම කිව්වා. “මං ඒක වීසි කළේ නෑ. කෑවෙත් නෑ. ශාන්ත විහරණ ඇති ස්වාමීන් වහන්සේ නමකට මං ඒක පූජා කළා” කියලා.

302. “අහා! එතකොට මේ ගෙදර ප්‍රධානියා තීද? එහෙම නැත්නම් මං ද?” කියලා නැන්දා මට පරිභව කළා. එතැන තිබුණු පුටුව අරගෙන මට පහර දුන්නා. මං මැරුනා. එයින් චුත වෙලා තමයි මං දෙව්දුවක් වුනේ.

303. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. තමන් කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා.

304. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. තමන් කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. සක් දෙවිඳුන් තමයි මේ තව්තිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. එනිසා මං දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා.

305. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුනත් මහා පුණ්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍යඵලය අල්ප දෙයක් නම් නොවෙයි. මං දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා.

306. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුනත් මහා පුණ්‍යවිපාක තියෙනවා. මේ ලැබුනු පුණ්‍යඵලය අල්ප දෙයක් නම් නොවෙයි. සක් දෙවිඳුන් තමයි මේ තව්තිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං සක්දෙවිඳුන් වගේ සැපතින් සතුටු වෙනවා.

307. ස්වාමීනී, මහත් අනුකම්පා ඇති ඤාණවන්ත වූ මුඹවහන්සේ ළඟට මං ආවා. වන්දනා කළා. සැප සනීප ඇහුවා. ඉතින් මම සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි මුඹවහන්සේට උක්දණ්ඩ පූජා කරගත්තේ.

සාදු! සාදු!! සාදු!!!

උච්ඡුදායිකා විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M