(අජිත)
ලොවේ සිටින හැම සතුන්ම – අවුරා ඇති දෙය කුමක්ද?
තමා එලෙස වැසී සිටින- බව නො දකින දේ කුමක්ද?
හැම සතුන් ගෙ ජීවිත තුළ – තැවරී ඇති දෙය කුමක්ද?
හැම දෙනාට මුහුණ දෙන්න – තිබෙන මහා බිය කුමක්ද?
භගවත් බුදු සමිඳාණෙනි – කියා දෙන්න මෙය මා හට
(භාග්‍යවතුන් වහන්සේ)
ලොවේ සිටින සියළු සතුන් – වැසුනෙ අවිදු අඳුරෙන්ම ය
ප්‍රමාදය ත් මසුරු බවත් නිසා ම – එය නො දන්නේ ය
හැම සතුන් ගේ ජීවිත තුළ – තැවරුණ දෙය තණ්හාව ය
හැම දෙනාට මුහුණ දෙන්න – තිබෙනා මහා බිය දුකම ය
(අජිත)
තණ්හා සැඩ වතුර පහර – ගලයි සියළු ඉඳුරන් ගෙන්
මෙලෙසින් ගලනා සැඩ ගඟ – කුමකින් දෝ වළකන්නේ?
කියාදෙන්න සමිඳුනි මට – මෙය සංවර කරනා හැටි
කුමකින් දෝ මේ සැඩ ගඟ – සදහට නවතා ලන්නේ?
(භාග්‍යවතුන් වහන්සේ)
යම් සැඩ වතුරක් වේ නම් – හැම ඉඳුරන් ගෙන් ගලනා
වළකන දෙය “සිහිය” කියමි – ඒ සැඩ දිය කඳ මඩිනා
සංවර කෙරුම ද මේ ගඟ – සිහියෙන් කළ යුතුය කියමි
දියුණු කරපු ප්‍රඥාවෙන් – නවතා ලයි මෙය සදහට
(අජිත)
ප්‍රඥාව ද සිහි නුවණ ද – නාම, රූප යන මේවා
යළි කිසිදා ඇති නොවනා- ලෙස නැතිවෙන්නේ කොහේද?
නිදුකාණනි, මෙ කරුණ මට – පහදා දුන මැනවි සොඳින
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් අජිතය දැන් ඔබ – විමසුවේ ද යම් පැනයක්
ම වෙතින් අසනා ඒ පැන – විසඳා පවසමි ඔබ හට
“කිසිදා ඇති නොවනා ලෙස – නැති වෙයි නම් නාම, රූප
විඤ්ඤාණය නැති වීමෙනි – එලෙසින් නැති වී යන්නේ”
(මේ ගාථා රත්නයෙන් භාග්‍යවතුන් වහන්සේ අදහස් කොට වදාළේ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ය. විඤ්ඤාණයේ පැවැත්මට හේතු වූ අවිද්‍යා තෘෂ්ණා ආදී ආහාර නිරුද්ධ වීම නිසා විපාක පිණිස කර්ම සකස් නොවේ. එම නිසා යළි උපතක් පිණිස විඤ්ඤාණය නො පිහිටයි. නොපිහිටි විඤ්ඤාණය තෙල් වැටි අවසන් වූ පහන් සිලක් සේ නො පෙනී යයි.)
භාග්‍යවත් නිදුකාණනි, – බුදු සසුනේ වැඩ සිටිනා
සදහම් දුටු දෑසින් යුතු – අරහත් මුනිවරු සිටිත් ද?
සදහම් තුළ පුහුණු වෙමින් – සිටිනා බොහො අය සිටිත් ද?
ඔවුන් දිවිය ගෙවනා හැටි – අසන මට ද කියා දෙන්න
කාම අරමුණු කෙරෙහි ඒ අය – නොවන්නේමය ගිජු බවක්
කිසි දිනක නොගන්නේ ම ය – ඒ සිතේ කැළඹෙන සිතක්
පුහුණු කරනා හැම දහම් ගැන – දක්ෂ ලෙස හැසිරෙනා සමණා
හැම විටම කල් ගෙවයි සිහියෙන් – මග යමින් අම සුවය සදනා
අජිත නිසා වදාළ දෙසුම මෙහි පළමු වැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M