ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.4.9. අන්තරාමල සුත්තං

3.4.9. සිත ඇතුළේ හටගන්නා මළකඩ ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, සිතේ හටගත්තු මළකඩ තුනක් තියෙනවා. සිතේ උපන්න සතුරන් තුන් දෙනෙක් ඉන්නවා. සිතේ උපන්න විරුද්ධකාරයන් තුන් දෙනෙක් ඉන්නවා. සිතේ උපන්න වධකයන් තුන් දෙනෙක් ඉන්නවා. සිතේ උපන්න තරහකාරයන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන මොනවාද?

පින්වත් මහණෙනි, ලෝභය කියන්නේ සිතේ හටගත්තු මළකඩක්. සිතේ උපන්න අමිත්‍රයෙක්. සිතේ උපන්න විරුද්ධකාරයෙක්. සිතේ උපන්න වධකයෙක්. සිතේ උපන්න හතුරෙක්. පින්වත් මහණෙනි, ද්වේෂය කියන්නේ සිතේ හටගත්තු මළකඩක්. සිතේ උපන්න අමිත්‍රයෙක්. සිතේ උපන්න විරුද්ධ කාරයෙක්. සිතේ උපන්න වධකයෙක්. සිතේ උපන්න හතුරෙක්. පින්වත් මහණෙනි, මෝහය කියන්නේ සිතේ හටගත්තු මළකඩක්. සිතේ උපන්න අමිත්‍රයෙක්. සිතේ උපන්න විරුද්ධකාරයෙක්. සිතේ උපන්න වධකයෙක්. සිතේ උපන්න හතුරෙක්.

පින්වත් මහණෙනි, මේ තමයි සිතේ හටගත්තු මළකඩ. සිතේ උපන්න අමිත්‍රයෝ. සිතේ උපන්න විරුද්ධකාරයෝ. සිතේ උපන්න වධකයෝ. සිතේ උපන්න සතුරෝ තුන් දෙනා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ලෝභය තමයි අනර්ථය උපදවා දෙන්නේ. සිත කළඹවන්නේ ලෝභය තමයි. ලෝභය කියන්නේ තමන් තුළ හටගත්තු භයක්. ඒ බව මේ ජනතාව නම් දන්නේ නෑ.

ලෝභ කෙනා යහපත් දේ ගැන දන්නෙ නෑ. ලෝභ කෙනා සදහම් දකින්නෙත් නෑ. මේ ලෝභය මනුෂ්‍යයෙකුගේ සිත මැඬගත්තට පස්සේ ඒක ඔහුගේ ජීවිතයේ මහා අන්ධකාරයක් වෙනවා.

කෙනෙක් ඉන්නවා මේ ලෝභය ප්‍රහීණ කරලා දානවා, ලෝභයට හේතු වන දේවල්වලට ලෝභ කරන්නෙ නැතුව ඉන්නවා. ඒ පුද්ගලයා තුළ ලෝභය නැති වෙලා යන්නේ, හරියට නෙළුම් කොළයට වැටුනු වතුර බිංදුවක් පෙරළිලා යනවා වගෙයි.

ද්වේෂයත් අනර්ථයක්මයි ඇති කරලා දෙන්නේ. මේ ද්වේෂය තමයි සිත කුපිත කරන්නෙත්. ද්වේෂය කියන්නෙ තමන් තුළ හටගත්තු භයක්. ඒ බව මේ ජනතාව නම් දන්නෙ නෑ.

දුෂ්ට කෙනා කිසිම යහපත් දෙයක් ගැන දන්නෙ නෑ. දුෂ්ට කෙනා ධර්මය දකින්නෙත් නෑ. මේ ද්වේෂය මනුෂ්‍යයෙකුගේ සිත මැඬගත්තට පස්සේ, ඒක ඔහුගේ ජීවිතයේ මහා අන්ධකාරයක් වෙනවා.

කෙනෙක් ඉන්නවා මේ ද්වේෂය ප්‍රහීණ කරලා දානවා. ද්වේෂයට හේතු වන දේවල්වලට ද්වේෂ කරන්නෙත් නැතුව ඉන්නවා. ඒ පුද්ගලයා තුළ ද්වේෂය නැති වෙලා යන්නේ, හරියට ඉදුණු තල් ගෙඩියක් නටුවෙන් ගිලිහී වැටෙනවා වගෙයි.

මෝහයත් ඇති කරලා දෙන්නේ අනර්ථයක්මයි. සිත කුපිත කරන්නෙත් මෝහයම තමයි. මෝහය තමන් තුළ හටගත්තු භයක් බව නම් මේ ජනතාව දන්නෙ නෑ.

මුළාවෙච්ච කෙනා කිසිම යහපත් දෙයක් ගැන දන්නෙ නෑ. මුළාවෙච්ච කෙනා ධර්මය දකින්නෙත් නෑ. මේ මෝහය මනුෂ්‍යයෙකුගේ සිත මැඬගත්තට පස්සේ, ඒක ඔහුගේ ජීවිතයේ මහා අන්ධකාරයක් වෙනවා.

කෙනෙක් ඉන්නවා මේ මෝහය ප්‍රහීණ කරලා දානවා. මෝහයෙන් මුලා වෙන තැන්වලදී මුලා වෙන්නේ නැතුව ඉන්නවා. ඒ පුද්ගලයා තුළ මෝහය නැතිවෙලා යන්නේ, හරියට හිරු මඬල නැගීමෙන් අඳුර දුරුවෙනවා වගේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M