ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.3.10. පරිහාන සුත්තං

3.3.10. පිරිහීමට හේතුවන දේ ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, සේඛ (නිවන් මගෙහි හික්මෙන) භික්ෂුවගේ පිරිහීමට හේතුවන කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙහි මේ සේඛ භික්ෂුව (භාවනා වැඩීමෙන් තොර වූ) වෙනත් වැඩ කටයුතු කිරීමෙහි ඇලී ඉන්නවා. වෙනත් වැඩ කටයුතු කිරීමෙන් සතුටු වෙනවා. වෙනත් වැඩ කටයුතුවල ඇලිලා, ඒවායේම යෙදිලා ඉන්නවා.

කතාබස් කිරීමේ ඇලිලා ඉන්නවා. කතා බස් කිරීමෙන් සතුටු වෙනවා. කතාබස් කිරීමේ ඇලිලා, ඒකෙම යෙදිලා ඉන්නවා.

නිදාගැනීමේ ඇලිලා ඉන්නවා. නිදාගැනීමෙන් සතුටු වෙනවා. නිදා ගැනීමේ ඇලිලා, නින්දේම යෙදිලා ඉන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඕවා තමයි සේඛ භික්ෂුවගේ පිරිහීමට හේතුවන කාරණා තුන.

පින්වත් මහණෙනි, සේඛ භික්ෂුවගේ නොපිරිහීමට හේතුවන කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙහි මේ සේඛ භික්ෂුව වෙනත් වැඩ කටයුතු කිරීමෙහි ඇලිලා ඉන්නෙ නෑ. වෙනත් වැඩ කටයුතු කිරීමෙන් සතුටු වෙන්නෙ නෑ. වෙනත් වැඩ කටයුතුවල ඇලිලා, ඒවායේම යෙදිලා ඉන්නෙ නෑ.

කතාබස් කිරීමේ ඇලිලා ඉන්නෙ නෑ. කතා බස් කිරීමෙන් සතුටු වෙන්නෙ නෑ. කතාබස් කිරීමේ ඇලිලා, ඒකෙම යෙදිලා ඉන්නෙ නෑ.

නිදාගැනීමේ ඇලිලා ඉන්නෙ නෑ. නිදාගැනීමෙන් සතුටු වෙන්නෙ නෑ. නිදාගැනීමේ ඇලිලා, නින්දේම යෙදිලා ඉන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඕවා තමයි සේඛ භික්ෂුවගේ නොපිරිහීමට හේතුවන කාරණා තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“භික්ෂුවක් ඉන්නවා, බාහිර වැඩ කටයුතුවල තමයි ඇලිලා ඉන්නේ. කතා බස් කිරීමෙත් ඇලිලා ඉන්නවා. නින්දෙත් ඇලිලා ඉන්නවා. සිතත් සංසුන් නෑ. ඒ වගේ භික්ෂුව නම් මේ උතුම් අරහත්වය ස්පර්ශ කරන්න සුදුස්සෙක් වෙන්නෙ නෑ.

ඒ නිසාම වැඩ කටයුතු අඩු, අඩුවෙන් නිදාගන්න, සංසුන් සිතක් ඇති කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ භික්ෂුව තමයි, මේ උතුම් අරහත්වය අවබෝධ කරන්න සුදුස්සෙක් වෙන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

තුන්වෙනි වර්ගය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M