භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ විශේෂ වූ ඉන්ද්රිය තුනක් තියෙනවා. ඒ ඉන්ද්රිය තුන මොනවාද? ඒ තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමි (කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නෙමි’යි) යන ඉන්ද්රිය. අඤ්ඤින්‍ද්‍රිය (සකදාගාමී ඵලයේ සිට අරහත් මාර්ගය දක්වා කෘත්‍ය ඤාණය තුළින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී ඇති බව දැනගන්නා ඉන්ද්රිය). අඤ්ඤතාවී ඉන්ද්රිය (චතුරාර්ය සත්‍යය ධර්මය සෝවාන් ඵලයේදී සත්‍ය ඤාණය වශයෙනුත්, අරහත් මාර්ගය දක්වා කෘත්‍ය ඤාණය වශයෙනුත්, අරහත් ඵලයේදී කෘත ඤාණ වශයෙනුත් අවබෝධ කරගත් බව දන්නා ඉන්ද්රිය). පින්වත් මහණෙනි, මේ වනාහී ඉන්ද්රිය තුනයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“නිවන් මගෙහි හික්මෙන්නා වූ සේඛ භික්ෂුව ඍජු මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන විට පළමුව ඇතිවන්නේ කෙලෙස් ක්ෂය වීම පිළිබඳ ඤාණයයි. අනතුරුව අරහත් ඵලයට පත්වෙයි.
මේ විදිහට අවබෝධය තුළින් කෙලෙසුන්ගෙන් නිදහස් වූ අකම්පිත සිත් ඇති භික්ෂුවට භව බන්ධන සියල්ල ක්ෂය වී ගිය නිසා ‘මාගේ මේ චිත්ත විමුක්තිය නොවෙනස් වෙයි’ කියා ඒ පිළිබඳ ඤාණය ඇතිවෙනවා.
ඒකාන්තයෙන්ම මේ ත්‍රිවිධ ඉන්ද්රියයන්ගෙන් යුතු කෙනා ශාන්ත වූ අමා නිවනෙහි සිත් අලවා ගෙන සේනා සහිත මාරයාව පරදවලා අන්තිම ශරීරය දරමිනුයි වැඩසිටින්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M