ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.3.3. උභෝ අත්ථ සුත්තං

1.3.3. දෙලොව යහපත ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, එකම දෙයක් තියෙනවා. ඒක පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, මෙලොවත්, පරලොවත් කියන දෙලොවම යහපත පිණිස හේතු වෙනවා. ඒ එකම දේ කුමක්ද? කුසල් දහම් වැඩීමේ අප්‍රමාදී බවයි. පින්වත් මහණෙනි, හොඳින් පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, මෙලොව පරලොව කියන දෙලොවම යහපත පිණිස හේතු වන ඒ එකම දේ මෙන්න මේක තමයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියාවන්හි අප්‍රමාදීව කටයුතු කිරීම ගැන බුද්ධිමත් අය ප්‍රශංසා කරනවා. අප්‍රමාදීව කටයුතු කරන ඒ බුද්ධිමත් කෙනා මෙලොව පරලොව යන දෙලොව ම යහපත සළසාගන්නවා.

මෙලොව යම් යහපතක් ඇත්නම්, ඒ වගේම පරලොව යම් යහපතක් ඇත්නම්, මේ දෙලොව යහපත සළසාගන්න ඤාණවන්තයාට තමයි ‘පණ්ඩිතයා’ කියන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M