එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රාජධානියෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් වසනු කැමැති වූ සේක. එකල්හී නන්දිය ශාක්‍ය තෙමේ මෙය ඇසුවේ ය. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් වසනු කැමැති වූ සේක්’ බවයි. එවිට නන්දිය ශාක්‍යයා හට මෙම අදහස ඇතිවිය. ‘මම් ද වස් කාලය සැවැත් නුවර ගත කරන්නෙම් නම් එහිදී මගේ වැඩකටයුතු ද කරගත හැකි වෙමි. භාග්‍යවතුන් වහන්සේව ද වරින් වර දකින්නට අවස්ථාව ලබන්නෙමි’ යි.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් වුසූ සේක. නන්දිය ශාක්‍ය තෙමේ ද වස් කාලය තුළ සැවැත් නුවර ගත කළේ ය. එහි වැඩකටයුතු ද පටන් ගත්තේ ය. කලින් කල භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම ද ලැබුවේ ය.
එසමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. එනම් ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. නන්දිය ශාක්‍ය තෙමේ මෙය ඇසුවේ ය. බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. එකල්හී නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස්ව හුන් නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මවිසින් මෙය අසන ලදී. බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ ද?”
“නන්දිය, සාදු! සාදු! නන්දිය, ඔබ වැනි කුලපුත්‍රයන් හට තථාගතයන් කරා එළැඹ, ‘ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ දැ’යි මෙසේ විමසන්නහු නම් ඉතා සුදුසු දෙයකි.
නන්දිය, ශ්‍රද්ධා ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. ශ්‍රද්ධා නැත්තහුට නොවේ. අරඹන ලද වීර්යය ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. කුසීතහුට නොවේ. එළැඹ සිටි සිහි ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. සිහි මුළාවූවහුට නොවේ. එකඟ වූ සිත් ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. අසමාහිත තැනැත්තහුට නොවේ. ප්‍රඥාව ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. දුෂ්ප්‍රාඥහුට නොවේ.
නන්දිය, ඔබ මේ සය ධර්මය මත පිහිටා තවදුරටත් කරුණු පසක් වැඩිය යුත්තෙහි ය.
නන්දිය, මෙහිලා ඔබ තථාගතයන් සිහි කළ යුත්තෙහි ය. එනම් ‘මේ මේ කරුණෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් තථාගතයන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ ධර්මය සිහි කළ යුත්තෙහි ය. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නැණවතුන් විසින් තම තමන් තුළ දියුණු කොට දැනගත යුත්තේ ය’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් ධර්මය අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ කල්‍යාණමිත්‍රයන් සිහි කළ යුත්තෙහි ය. එනම් ‘ඒකාන්තයෙන් ම මට ලාභයෙකි, ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි. මා කෙරෙහි අනුකම්පා ඇති, යහපත කැමති, අවවාද කරන, අනුශාසනා කරන, කල්‍යාණමිත්‍රයෝ මට ඇත්තාහ’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් කල්‍යාණ මිත්‍රයන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ තමන්ගේ දන් දීමේ හැකියාව සිහි කළ යුත්තෙහි ය. එනම් ‘ඒකාන්තයෙන් ම මට ලාභයෙකි, ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි, ඒ මම් මසුරුමල නම් කිළුටෙන් යට වූ සිත් ඇති සමාජයෙහි ඒ මසුරු කිළුට බැහැර කළ සිතින් ගිහි ගෙදර වසමි, ඒ මම් දන් දීම පිණිස සිතින් අත්හැර සිටින්නෙකි, අත් සෝදා සිටින්නෙකි, දීමෙහි ඇලී සිටින්නෙකි, මාගෙන් ඉල්ලන්නට සුදුස්සෙක් වෙමි, දන් බෙදීමට ඇළුම් කරන්නෙක්මි’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් චාගය අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ දෙවිවරුන් ගැන සිහි කළ යුත්තෙහි ය. එනම් ‘යම් දේවතා කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් අන්‍යතර වූ මනෝමය කය ඇති දෙවියන් අතර උපන්නාහු ද, ඒ දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නොදකිති. කළ දේ නැවත කළ යුතු යැයි ද නොදකිති’ වශයෙනි. නන්දිය එය මෙබඳු දෙයකි. ක්ෂීණාශ්‍රව අරහත් භික්ෂුව තමන් ට විමුක්තිය පිණිස කළ යුතු දේ ඇති බව නොදකියි ද, කළ දේ නැවත කළ යුතු යැයි නොදකියි ද, එසෙයින් ම නන්දිය, යම් දේවතා කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් අන්‍යතර වූ මනෝමය කය ඇති දෙවියන් අතර උපන්නාහු ද, ඒ දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නොදකිති. කළ දේ නැවත කළ යුතු යැයි ද නොදකිති’යි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් දෙවියන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
නන්දිය, මෙම එකළොස් කරුණෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවකයා පාපී අකුසල් දහම් අත්හරින්නේ ම ය. ඒ අකුසල්වලට හසු නොවන්නේ ම ය. නන්දිය, එය මෙබඳු දෙයකි. දිය කළයක් යටිකුරු කළ විට දිය වමාරන්නේ ම ය. ඒ වැමෑරූ දිය යළිත් නොවමාරන්නේ ම ය. එමෙන් ම නන්දිය, එය මෙබඳු දෙයකි. වියැළී ගිය තණ ලැහැබක් ගිනි ගත් කල්හී එය ගින්නෙන් දැවී යන්නේ ම ය. ගින්නෙන් දැවී ගිය දෑ පෙරළා නොදවන්නේ ම ය. ඒ අයුරින් ම නන්දිය, මෙම එකළොස් කරුණෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවකයා පාපී අකුසල් දහම් අත්හරින්නේ ම ය. ඒ අකුසල්වලට හසු නොවන්නේ ම ය.
සාදු! සාදු!! සාදු!!!
නන්දිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M