අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

11.2.1. මහානාම සුත්තං

11.2.1. මහානාම ශාක්‍ය රජුට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රාජධානියෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. එනම් ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. මහානාම ශාක්‍ය තෙමේ මෙය ඇසුවේ ය. බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස්ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය.

“ස්වාමීනී, මවිසින් මෙය අසන ලදි. එනම් බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. එනම් ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ ද?”

“මහානාමය, සාදු! සාදු! මහානාමය, ඔබ වැනි කුලපුත්‍රයන් හට තථාගතයන් කරා එළැඹ, ‘ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ දැ’යි යන්න මෙසේ විමසන්නහු නම් ඉතා සුදුසු දෙයකි.

මහානාමය, ශ්‍රද්ධා ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. ශ්‍රද්ධා නැත්තහුට නොවේ. අරඹන ලද වීර්යය ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. කුසීතහුට නොවේ. එළැඹ සිටි සිහි ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. සිහි මුළාවූවහුට නොවේ. එකඟ වූ සිත් ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. අසමාහිත තැනැත්තහුට නොවේ. ප්‍රඥාව ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. දුෂ්ප්‍රාඥහුට නොවේ.

මහානාමය, ඔබ මේ පංච ධර්මය මත පිහිටා තවදුරටත් කරුණු සයක් වැඩිය යුත්තෙහි ය.

මහානාම, මෙහිලා ඔබ තථාගතයන් සිහි කළ යුත්තෙහි ය. එනම් ‘මේ මේ කරුණෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ වශයෙනි.

මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා තථාගතයන් ව සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත තථාගතයන් අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ්‍රාවකයා විසමගත සමාජය තුළ සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ බුද්ධානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.

තව ද මහානාම, ඔබ ධර්මය සිහි කළ යුත්තෙහි ය. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නැණවතුන් විසින් තම තමන් තුළ දියුණු කොට දැනගත යුත්තේ ය’ වශයෙනි.

මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා ධර්මය සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත ධර්මය අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ්‍රාවකයා විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ ධම්මානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.

තව ද මහානාම, ඔබ සංඝයා සිහි කළ යුත්තෙහි ය. එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වන සේක, මාර්ගඵල යුගල වශයෙන් සතරක් ද, මාර්ගඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වන සේක, ආහුනෙය්‍ය වන සේක, පාහුනෙය්‍ය වන සේක, දක්ඛිණෙය්‍ය වන සේක, අංජලිකරණීය වන සේක, ලොවෙහි උතුම් පින්කෙත වන සේක’ වශයෙනි.

මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා සංඝයා සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත සංඝයා අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ්‍රාවකයා විසමගත සමාජයයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ සංඝානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.

තව ද මහානාම, ඔබ තමාගේ සීලය සිහි කළ යුත්තෙහි ය. එනම් ‘මේ සිල්පදයෝ නොකැඩුණාහු ය, සිදුරු නැත්තාහු ය, පැල්ලම් නැත්තාහු ය, කැලැල් නැත්තාහු ය, ණය නැත්තාහු ය, නැණවතුන් පැසසුම් කරන්නාහු ය, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොබැසගත්තාහු ය, චිත්ත සමාධිය පිණිස පවතින්නාහු ය’ වශයෙනි.

මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා සීලය සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත සීලය අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ්‍රාවකයා විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ සීලානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.

තව ද මහානාම, ඔබ තමන්ගේ දන් දීමේ හැකියාව සිහි කළ යුත්තෙහි ය. එනම් ‘ඒකාන්තයෙන් ම මට ලාභයෙකි, ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි, ඒ මම් මසුරුමල නම් කිළුටෙන් යට වූ සිත් ඇති සමාජයෙහි ඒ මසුරු කිළුට බැහැර කළ සිතින් ගිහි ගෙදර වසමි, ඒ මම් දන් දීම පිණිස සිතින් අත්හැර සිටින්නෙකි, අත් සෝදා සිටින්නෙකි, දීමෙහි ඇලී සිටින්නෙකි, මාගෙන් ඉල්ලන්නට සුදුස්සෙක් වෙමි, දන් බෙදීමට ඇළුම් කරන්නෙක්මි’ වශයෙනි.

මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා ත්‍යාගය සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත ත්‍යාගය අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ්‍රාවකයා විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ චාගානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.

තව ද මහානාම, ඔබ දෙවිවරුන් ගැන සිහි කළ යුත්තෙහි ය. එනම් ‘චාතුම්මහාරාජික දෙවියෝ සිටිති, තව්තිසාවැසි දෙවියෝ සිටිති, යාම දෙවියෝ සිටිති, තුසිත දෙවියෝ සිටිති, නිම්මාණරතී දෙවියෝ සිටිති, පරමිනිම්මිත වසවර්තී දෙවියෝ සිටිති, බ්‍රහ්මකායික දෙවියෝ සිටිති, එමෙන් ම එයට ඉහළ ලෝකවලත් තව දෙවියෝ සිටිති. යම්බඳු වූ ශ්‍රද්ධාවකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ ශ්‍රද්ධාවක් පැහැදිලි ව පෙනෙයි. යම්බඳු වූ සීලයකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ සීලයක් පැහැදිලි ව පෙනෙයි. යම්බඳු වූ ශ්‍රැතයකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ ශ්‍රැතයක් පැහැදිලි ව පෙනෙයි. යම්බඳු වූ ත්‍යාගයකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ ත්‍යාගයක් පැහැදිලි ව පෙනෙයි. යම්බඳු වූ ප්‍රඥාවකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ ප්‍රඥාවක් පැහැදිලි ව පෙනෙයි’ වශයෙනි.

මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා තමාගේ ත්, ඒ දෙවිවරුන්ගේ ත් ශ්‍රද්ධාව ද, සීලය ද, ශ්‍රැතය ද, ත්‍යාගය ද, ප්‍රඥාව ද සිහි කරයි නම්, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත දෙවිවරුන් අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ්‍රාවකයා විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ දේවතානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

මහානාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M