අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.5.1. කාමභෝගී සුත්තං

10.2.5.1. කම්සැප අනුභව කිරීම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, කාම සැප අනුභව කරන පුද්ගලයන් දස දෙනෙක් ලෝකයෙහි පැහැදිලි ව දකින්නට ලැබෙයි. ඒ කවර දස දෙනෙක් ද යත්;

1. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් නොකරයි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි.

2. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. එනමුදු බෙදා නොදෙයි. පින් නොකරයි.

3. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි.

4. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත් සැහැසි ලෙස ත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයයි. ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසි ලෙසත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයා තමා ව සුවපත් නොකරයි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි.

5. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත් සැහැසි ලෙස ත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයයි. ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසි ලෙසත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. එනමුදු බෙදා නොදෙයි. පින් නොකරයි.

6. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත් සැහැසි ලෙස ත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයයි. ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසි ලෙසත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි.

7. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙන්, නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි. ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් නොකරයි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි.

8. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි. ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. එනමුදු බෙදා නොදෙයි. පින් නොකරයි.

9. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි. ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි. එනමුදු ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු වූයේ වෙයි. මත් වූයේ වෙයි. එහි බැසගත්තේ වෙයි. ආදීනව නොදක්නාසුළු වූයේ ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව නැති ව ඒ භෝග සම්පත් අනුභව කරයි.

10. ගෘහපතිය, මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි. ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි. ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු නොවූයේ වෙයි. මත් නොවූයේ වෙයි. එහි නොබැසගත්තේ වෙයි. ආදීනව දක්නාසුළු වූයේ ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව ඇති ව ඒ භෝග සම්පත් අනුභව කරයි.

1. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් නොකරයි ද, නොපිණවයි ද, බෙදා නොදෙයි ද, පින් නොකරයි ද, ගෘහපතිය මේ කාමභෝගී තැනැත්තා තුන් කරුණකින් ගැරහිය යුතුය. එහි ගැරහිය යුතු පළමුවෙනි කරුණ නම් අධර්මයෙන්, සැහැසිකමෙන් භෝග සම්පත් සෙවීමයි. ගැරහිය යුතු දෙවන කරුණ නම් තමා ව සුවපත් නොකිරීමයි, නොපිණවීමයි. ගැරහිය යුතු තුන්වන කරුණ නම් බෙදා නොදීමයි, පින් නොකිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී තුන් කරුණෙන් ගැරහුම් ලැබිය යුතුයි.

2. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, එනමුදු බෙදා නොදෙයි ද, පින් නොකරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා දෙ කරුණකින් ගැරහිය යුතුය. එක් කරුණකින් පැසසිය යුතුය. එහි ගැරහිය යුතු පළමුවෙනි කරුණ නම් අධර්මයෙන්, සැහැසිකමෙන් භෝග සම්පත් සෙවීම යි. පැසසිය යුතු එක් කරුණ නම් තමා ව සුවපත් කිරීම යි, පිණවීම යි. ගැරහිය යුතු දෙවන කරුණ නම් බෙදා නොදීම යි, පින් නොකිරීම යි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී දෙ කරුණෙන් ගැරහුම් ලැබිය යුතුයි. මෙකී එක් කරුණකින් පැසසුම් ලැබිය යුතුයි.

3. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, බෙදා දෙයි ද, පින් කරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා එක් කරුණකින් ගැරහිය යුතුය. දෙ කරුණකින් පැසසිය යුතුය. එහි ගැරහිය යුතු එක් කරුණ නම් අධර්මයෙන්, සැහැසිකමෙන් භෝග සම්පත් සෙවීමයි. පැසසිය යුතු පළමු කරුණ නම් තමාව සුවපත් කිරීම යි, පිණවීම යි. පැසසිය යුතු දෙවන කරුණ නම් බෙදා දීම යි, පින් කිරීම යි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී එක් කරුණෙන් ගැරහුම් ලැබිය යුතුයි. මෙකී දෙ කරුණකින් පැසසුම් ලැබිය යුතුයි.

4. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත් සැහැසි ලෙස ත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයයි ද, ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසි ලෙසත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයා තමා ව සුවපත් නොකරයි ද, නොපිණවයි ද, බෙදා නොදෙයි ද, පින් නොකරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා එක් කරුණකින් පැසසිය යුතුය. තුන් කරුණකින් ගැරහිය යුතුය. එහි පැසසිය යුතු එක් කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසි කමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි ගැරහිය යුතු පළමු කරුණ නම් අධර්මයෙන්, සැහැසිකමෙන් භෝග සම්පත් සෙවීමයි. එහි ගැරහිය යුතු දෙවෙනි කරුණ නම් තමා සුවපත් නොකිරීමයි, නොපිණවීමයි. ගැරහිය යුතු තුන්වෙනි කරුණ නම් බෙදා නොදීමයි, පින් නොකිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී එක් කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි. මෙකී තුන් කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි.

5. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත් සැහැසි ලෙස ත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයයි ද, ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසි ලෙසත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, එනමුදු බෙදා නොදෙයි ද, පින් නොකරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා දෙ කරුණකින් පැසසිය යුතුය. දෙ කරුණකින් ගැරහිය යුතුය. එහි පැසසිය යුතු පළමු කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසි කමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි ගැරහිය යුතු පළමු කරුණ නම් අධර්මයෙන්, සැහැසිකමෙන් භෝග සම්පත් සෙවීමයි. එහි පැසසිය යුතු දෙවෙනි කරුණ නම් තමා ව සුවපත් කිරීමයි, පිණවීමයි. ගැරහිය යුතු දෙවෙනි කරුණ නම් බෙදා නොදීමයි, පින් නොකිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී දෙ කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි. මෙකී දෙ කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි.

6. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත් සැහැසි ලෙස ත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයයි ද, ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසි ලෙසත්, නොසැහැසි ලෙස ත් භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, බෙදා දෙයි ද, පින් කරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා තුන් කරුණකින් පැසසිය යුතුය. එක් කරුණකින් ගැරහිය යුතුය. එහි පැසසිය යුතු පළමු කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසි කමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි ගැරහිය යුතු එක් කරුණ නම් අධර්මයෙන්, සැහැසිකමෙන් භෝග සම්පත් සෙවීමයි. එහි පැසසිය යුතු දෙවෙනි කරුණ නම් තමා ව සුවපත් කිරීමයි, පිණවීමයි. පැසසිය යුතු තුන්වෙනි කරුණ නම් බෙදා දීමයි, පින් කිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී තුන් කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි. මෙකී එක් කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි.

7. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙන්, නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් නොකරයි ද, නොපිණවයි ද, බෙදා නොදෙයි ද, පින් නොකරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා එක් කරුණකින් පැසසිය යුතුය. දෙ කරුණකින් ගැරහිය යුතුය. එහි පැසසිය යුතු එක් කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසි කමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි ගැරහිය යුතු පළමු කරුණ නම් තමා ව සුවපත් නොකිරීමයි, නොපිණවීමයි. ගැරහිය යුතු දෙවෙනි කරුණ නම් බෙදා නොදීමයි, පින් නොකිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී එක් කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි. මෙකී දෙ කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි.

8. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, එනමුදු බෙදා නොදෙයි ද, පින් නොකරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා දෙ කරුණකින් පැසසිය යුතුය. එක් කරුණකින් ගැරහිය යුතුය. එහි පැසසිය යුතු පළමු කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසිකමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි පැසසිය යුතු දෙවෙනි කරුණ නම් තමා ව සුවපත් කිරීමයි, පිණවීමයි. ගැරහිය යුතු එක් කරුණ නම් බෙදා නොදීමයි, පින් නොකිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී දෙ කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි. මෙකී එක් කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි.

9. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, බෙදා දෙයි ද, පින් කරයි ද, එනමුදු ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු වූයේ වෙයි ද, මත් වූයේ වෙයි ද, එහි බැසගත්තේ වෙයි ද, ආදීනව නොදක්නාසුළු වූයේ ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව නැති ව ඒ භෝග සම්පත් අනුභව කරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා තුන් කරුණකින් පැසසිය යුතුය. එක් කරුණකින් ගැරහිය යුතුය. එහි පැසසිය යුතු පළමු කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසි කමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි පැසසිය යුතු දෙවෙනි කරුණ නම් තමා සුවපත් කිරීමයි, පිණවීමයි. පැසසිය යුතු තුන්වෙනි කරුණ නම් බෙදා දීමයි, පින් කිරීමයි. එහි ගැරහිය යුතු එක් කරුණ නම් ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු වීමයි, මත් වීමයි, එහි බැසගෙන සිටීමයි, ආදීනව නොදැකීමයි, ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව නැතිව ඒ භෝග සම්පත් අනුභව කිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී තුන් කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි. මෙකී එක් කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි.

10. ගෘහපතිය, එහිලා යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, බෙදා දෙයි ද, පින් කරයි ද, ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු නොවූයේ වෙයි ද, මත් නොවූයේ වෙයි ද, එහි නොබැසගත්තේ වෙයි ද, ආදීනව දක්නාසුළු වූයේ ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව ඇතිව ඒ භෝග සම්පත් අනුභව කරයි ද, ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා සිව් කරුණකින් පැසසිය යුතුය. එහි පැසසිය යුතු පළමු කරුණ නම් ධර්මයෙන් ද නොසැහැසි කමෙන් ද භෝග සම්පත් සෙවීම යි. එහි පැසසිය යුතු දෙවෙනි කරුණ නම් තමා ව සුවපත් කිරීමයි, පිණවීමයි. පැසසිය යුතු තුන්වෙනි කරුණ නම් බෙදා දීමයි, පින් කිරීමයි. එහි පැසසිය යුතු සිව්වෙනි කරුණ නම් ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු නොවීමයි, මත් නොවීමයි, එහි බැසගෙන නොසිටීමයි, ආදීනව දැකීමයි, ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව ඇතිව ඒ භෝග සම්පත් අනුභව කිරීමයි. ගෘහපතිය, මේ කාමභෝගී තැනැත්තා මෙකී සිව් කරුණෙන් පැසසුම් ලැබිය යුතුයි.

ගෘහපතිය, මේ වනාහී ලොවෙහි විද්‍යමානව සිටින කාමභෝගීහු දස දෙනා ය. ගෘහපතිය, මේ දස වැදෑරුම් කාමභෝගීන් අතුරින්, යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, බෙදා දෙයි ද, පින් කරයි ද, ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු නොවූයේ වෙයි ද, මත් නොවූයේ වෙයි ද, එහි නොබැසගත්තේ වෙයි ද, ආදීනව දක්නාසුළු වූයේ ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව ඇතිව ඒ භෝග සම්පත් අනුභව කරයි ද, මේ තැනැත්තා මේ දස වැදෑරුම් කාම

භෝගීන් අතුරින් අග්‍ර වූයේ ත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේ ත් වෙයි. ප්‍රමුඛ වූයේ ත් වෙයි. උත්තම වූයේ ත් වෙයි. වඩාත් උතුම් වූයේ ත් වෙයි.

ගෘහපතිය, එය මෙබඳු දෙයකි. යම් සේ ගවදෙනගෙන් කිරි ගනියි ද, කිරෙන් දිහි ගනියි ද, දිහියෙන් වෙඬරු ගනියි ද, වෙඬරුවෙන් ගිතෙල් ගනියි ද, ගිතෙලින් ගී මණ්ඩි ගනියි ද, එහිලා අග්‍ර වන්නේ ගී මණ්ඩි ය. එසෙයින් ම ගෘහපතිය, මේ දස වැදෑරුම් කාමභෝගීන් අතුරින්, යම් මේ කාම සැප අනුභව කරන පුද්ගලයෙක් ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයයි ද, ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමා ව සුවපත් කරයි ද, පිණවයි ද, බෙදා දෙයි ද, පින් කරයි ද, ඒ භෝග සම්පත් පිළිබඳ ගිජු නොවූයේ වෙයි ද, මත් නොවූයේ වෙයි ද, එහි නොබැසගත්තේ වෙයි ද, ආදීනව දක්නාසුළු වූයේ ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව ඇතිව ඒ භෝග සම්පත් අනුභව කරයි ද, මේ තැනැත්තා මේ දස වැදෑරුම් කාමභෝගීන් අතුරින් අග්‍ර වූයේ ත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේ ත් වෙයි. ප්‍රමුඛ වූයේ ත් වෙයි. උත්තම වූයේ ත් වෙයි. වඩාත් උතුම් වූයේ ත් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

කාමභෝගී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M