අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.4.1. බාහුන සුත්තං

10.2.4.1. බාහුන තෙරුන් හට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ චම්පායෙහි ගග්ගරා නම් පොකුණු තෙර වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ කෙතෙක් ධර්මයන් අත්හැර, එක් නොවී, මැනැවින් නිදහස් වී, කෙලෙස් සීමා බිඳලූ සිතින් වැඩවසන සේක් ද?”

“බාහුනයෙනි, තථාගත තෙමේ දස ධර්මයක් අත්හැර, එක් නොවී, මැනැවින් නිදහස් වී, කෙලෙස් සීමා බිඳලූ සිතින් වැඩවසයි. ඒ කවර දස ධර්මයක් ද යත්; බාහුනයෙනි, තථාගත තෙමේ රූපය අත්හැර, එක් නොවී, මැනැවින් නිදහස් වී, කෙලෙස් සීමා බිඳලූ සිතින් වැඩවසන්නේ ය. බාහුනයෙනි, තථාගත තෙමේ විඳීම අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ සංඥාව අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ සංස්කාර අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ විඤ්ඤාණය අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ ඉපදීම අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ ජරාව අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ මරණය අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ දුක්ඛයන් අත්හැර, ….(පෙ)…. බාහුනයෙනි, තථාගත තෙමේ කෙලෙසුන් අත්හැර, එක් නොවී, මැනැවින් නිදහස් වී, කෙලෙස් සීමා බිඳලූ සිතින් වැඩවසන්නේ ය.

බාහුනයෙනි, එය මෙබඳු දෙයකි. නිල් මහනෙල් මලක් වේවා, රතු නෙළුමක් වේවා, සුදු නෙළුමක් වේවා දියෙහි ඉපිද, දියෙහි වැඩී, දියෙන් උඩට නැගී, ඒ දිය හා නොතැවරී තිබෙන්නේ යම් සේ ද, බාහුනයෙනි, ඒ අයුරින් ම තථාගත තෙමේ මෙම කරුණු දහයෙන් වෙන් වී, එක් නොවී, මැනැවින් නිදහස් ව, සිඳලූ කෙලෙස් සීමා ඇති ව වාසය කරයි.”

සාදු! සාදු!! සාදු!!!

බාහුන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M