එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සීලයෙන් යුක්ත ව වසව්. ප්‍රාතිමෝක්ෂයෙන් යුක්ත ව වසව්. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව වසව්. මනා ඇවතුම් පැවතුම් ඇති ව, අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකිමින්, ශික්ෂාපදයන් සමාදන් ව හික්මෙව්.
1. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වන්නෙක් වෙම්වා! මනාප වන්නෙක් වෙම්වා! ගරු බුහුමන් සහිත වන්නෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. තමා තුළ චිත්ත සමථය ද ඇති කරගනිමින්, ධ්‍යානයෙන් බැහැර නොවී විදර්ශනාවෙන් ද යුතු ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
2. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. තමා තුළ චිත්ත සමථය ද ඇති කරගනිමින්, ධ්‍යානයෙන් බැහැර නොවී විදර්ශනාවෙන් ද යුතු ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
3. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම් යම් දායකයෙකුගෙන් ලැබෙන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය පරිහරණය කරන්නෙම් ද, ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානිසංස වෙත්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
4. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මාගේ යම් ලේ නෑ කෙනෙක් කළුරිය කළාහු වෙත් ද, ඔවුහු පහන් සිතින් සිහි කරත් ද, ඔවුන්ගේ ඒ සිහිකිරීම මහත්ඵල මහානිශංසයක් වේවා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
5. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම් ලද සිවුරෙකින්, පිණ්ඩපාතයකින්, සෙනසුනකින්, ගිලන්පස බෙහෙත් පිරිකරකින්, ලද ලද දෙයින් සතුටු වන්නෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
6. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම් සීතල ද, ඌෂ්ණය ද, කුසගින්න ද, පිපාසය ද, මැසි මදුරු අව් සුළං සර්පාදීන්ගේ කටුක පහස ද ඉවසන සුළු වෙම්වා! නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි දරුණු වචනයන් ද, හටගත්තා වූ දරුණු දුකින් යුතු, රළු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ප්‍රාණය නිරුද්ධ වන තරම් වූ ශාරීරික වේදනාවන් ඉවසන සුළු කෙනෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
7. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම් කුසල් දහම්වල නොඇලෙන ගතිය ත්, කාමයෙහි ඇලෙන ගතිය ත් අභියස දරාගැනීමේ ශක්තිය ඇත්තෙක් වෙම්වා! ඒ කුසල අරතිය හා කාම රතිය මාව යටකරගෙන නොයාවා! හටගත්තා වූ ඒ අරතිය ත්, රතිය ත් මැඬ මැඬ වාසය කරන්නෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
8. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම සිත බියට පත් කරවන බිහිසුණු අරමුණු අභියස දරාගත හැකි ශක්තිය ඇත්තෙක් වෙම්වා! සිත බියට පත් කරවන බිහිසුණු අරමුණු මාව යටකරගෙන නොයාවා! හටගත් සිත බියට පත් කරවන බිහිසුණු අරමුණු මැඬ මැඬ වාසය කරන්නෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
9. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම මේ ජීවිතයේ දී පහසු විහරණය ලබන චිත්ත දියුණුවෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ නිදුකින් ම, සුවසේ ම ලබන සුළු කෙනෙක් වෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. ….(පෙ)…. ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
10. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් ඇත්දැක එය පැමිණ වෙසෙම්වා!’ යි කියා කැමැති වන්නේ ද, ඒ භික්ෂුව විසින් සීලය ම පරිපූර්ණ කරන්නෙක් වන්නේ ය. තමා තුළ චිත්ත සමථය ද ඇති කරගනිමින්, ධ්‍යානයෙන් බැහැර නොවී විදර්ශනාවෙන් ද යුතු ගුණදහම් වඩමින් ජනශූන්‍ය කුටි සෙනසුන් සේවනය කළ යුත්තේ ය.
මහණෙනි, සීලයෙන් යුක්ත ව වසව්. ප්‍රාතිමෝක්ෂයෙන් යුක්ත ව වසව්. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව වසව්. මනා ඇවතුම් පැවතුම් ඇති ව, අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකිමින්, ශික්ෂාපදයන් සමාදන් ව හික්මෙව්’ වශයෙන් යමක් කියන ලද්දේ ද, එය මෙකරුණ උදෙසා කියන ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
ආකංඛෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M