අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.2.1. අවිජ්ජා සුත්තං

10.2.2.1. අවිද්‍යාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………

මහණෙනි, අවිද්‍යාවෙහි ආරම්භක කෙළවරක් පෙන්විය නොහැකි ය. එහෙත් ‘මින් පෙර අවිද්‍යාව නොතිබුණේ ය. එය පසුව හටගත් දෙයක් යැ’යි මහණෙනි, මෙබඳු කථාවක් කියනු ලැබේ. එනමුදු අවිද්‍යාව යනු හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව පැහැදිලි ව පෙනෙන දෙයකි.

මහණෙනි, මම අවිද්‍යාව ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. අවිද්‍යාවට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ පංච නීවරණ කියා ය.

මහණෙනි, මම පංච නීවරණ ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. පංච නීවරණයන්ට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ තුන් ආකාර වූ දුශ්චරිතය කියා ය.

මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතය ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. ත්‍රිවිධ දුශ්චරිතයට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ ඉන්ද්‍රියයන්ගේ අසංවරය කියා ය.

මහණෙනි, මම ඉන්ද්‍රිය අසංවරය ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. ඉන්ද්‍රිය අසංවරයට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ සිහිය ත්, නුවණ ත් නැතිකම කියා ය.

මහණෙනි, මම සිහිය ත්, නුවණ ත් නැතිකම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. සිහිය ත්, නුවණ ත් නැතිකමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ නුවණින් තොර ව මෙනෙහි කිරීම කියා ය.

මහණෙනි, මම නුවණින් තොර ව මෙනෙහි කිරීම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. නුවණින් තොර ව මෙනෙහි කිරීමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ ශ්‍රද්ධාව නැතිකම කියා ය.

මහණෙනි, මම ශ්‍රද්ධාව නැතිකම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. ශ්‍රද්ධාව නැතිකමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ අධර්මයට සවන්දීම කියා ය.

මහණෙනි, මම අධර්මයට සවන්දීම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. අධර්මයට සවන්දීමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ අසත්පුරුෂයන්ගේ ඇසුර කියා ය.

මහණෙනි, මේ අයුරින් අසත්පුරුෂයන්ගේ ඇසුර පිරිපුන් වීමෙන් අධර්මයට සවන් දීම සම්පූර්ණ වෙයි. අධර්මයට සවන් දීම පිරිපුන් වීමෙන් ශ්‍රද්ධාව නැති බව සම්පූර්ණ වෙයි. ශ්‍රද්ධාව නැතිබව පිරිපුන් වීමෙන් නුවණින් තොර ව මෙනෙහි කිරීම සම්පූර්ණ වෙයි. නුවණින් තොර ව මෙනෙහි කිරීම පිරිපුන් වීමෙන් සිහි නැතිකම ත්, නුවණ නැතිකම ත් සම්පූර්ණ වෙයි. සිහි නැතිකම ත්, නුවණ නැතිකම ත් පිරිපුන් වීමෙන් ඉන්ද්‍රියයන්ගේ අසංවරය සම්පූර්ණ වෙයි. ඉන්ද්‍රිය අසංවරය පිරිපුන් වීමෙන් ත්‍රිවිධ දුශ්චරිතය සම්පූර්ණ වෙයි. ත්‍රිවිධ දුශ්චරිතය පිරිපුන් වීමෙන් පංච නීවරණයන් සම්පූර්ණ වෙයි. පංච නීවරණයන් පිරිපුන් වීමෙන් අවිද්‍යාව සම්පූර්ණ වෙයි. මේ අයුරින් අවිද්‍යාවට ආහාරය වෙයි. මේ අයුරින් පිරිපුන් ව යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කඳු මුදුනට මහත් දිය බිඳු සහිත වැස්ස වසින කල්හී එය ගලා යද්දී බෑවුම ඇති දිශාවට ඒ ජලය ගලයි. පර්වත, දියඇලි, පොළොවෙහි පැල්ම, කුඩා දියඇලි ආදිය පිරිපුන් කරයි. පර්වත, දියඇලි, පොළොවෙහි පැල්ම, කුඩා දියඇලි ආදිය පිරිපුන් කරමින් කුඩා වළවල් පුරවා දමයි. කුඩා වළවල් පුරවා දමමින් මහ වළවල් පුරවා දමයි. මහ වළවල් පුරවා දමමින් කුඩා නදීන් පුරවා දමයි. කුඩා නදීන් පුරවා දමමින් මහා නදීන් පුරවා දමයි. මහා නදීන් පුරවා දමමින් මහා සාගරය පුරවා දමයි. මෙසේ මහා සමුද්‍රය වූ මහා සාගරයට ආහාරය වෙයි. මේ අයුරින් මහා සාගරය පිරිපුන් බවට යයි.

එසෙයින් ම මහණෙනි, අසත්පුරුෂයන්ගේ ඇසුර පිරිපුන් වීමෙන් අධර්මයට සවන් දීම සම්පූර්ණ වෙයි. අධර්මයට සවන් දීම පිරිපුන් වීමෙන් ශ්‍රද්ධාව නැති බව සම්පූර්ණ වෙයි. ශ්‍රද්ධාව නැතිබව පිරිපුන් වීමෙන් නුවණින් තොර ව මෙනෙහි කිරීම සම්පූර්ණ වෙයි. නුවණින් තොර ව මෙනෙහි කිරීම පිරිපුන් වීමෙන් සිහි නැතිකම ත්, නුවණ නැතිකම ත් සම්පූර්ණ වෙයි. සිහි නැතිකම ත්, නුවණ නැතිකම ත් පිරිපුන් වීමෙන් ඉන්ද්‍රියයන්ගේ අසංවරය සම්පූර්ණ වෙයි. ඉන්ද්‍රිය අසංවරය පිරිපුන් වීමෙන් ත්‍රිවිධ දුශ්චරිතය සම්පූර්ණ වෙයි. ත්‍රිවිධ දුශ්චරිතය පිරිපුන් වීමෙන් පංච නීවරණයන් සම්පූර්ණ වෙයි. පංච නීවරණයන් පිරිපුන් වීමෙන් අවිද්‍යාව සම්පූර්ණ වෙයි. මේ අයුරින් අවිද්‍යාවට ආහාරය වෙයි. මේ අයුරින් පිරිපුන් ව යයි.

මහණෙනි, මම විද්‍යා විමුක්තිය ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. විද්‍යා විමුක්තියට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ සප්ත බොජ්ඣංග කියා ය.

මහණෙනි, මම සප්ත බොජ්ඣංග ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. සප්ත බොජ්ඣංගයන්ට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ සතර සතිපට්ඨාන කියා ය.

මහණෙනි, මම සතර සතිපට්ඨානය ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. සතර සතිපට්ඨානයට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ ත්‍රිවිධ සුචරිතය කියා ය.

මහණෙනි, මම ත්‍රිවිධ සුචරිතය ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. ත්‍රිවිධ සුචරිතයට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ ඉන්ද්‍රිය සංවරය කියා ය.

මහණෙනි, මම ඉන්ද්‍රිය සංවරය ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. ඉන්ද්‍රිය සංවරයට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ සිහිය ත්, නුවණ ත් ඇතිකම කියා ය.

මහණෙනි, මම සිහිය ත්, නුවණ ත් ඇතිකම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. සිහිය ත්, නුවණත් ඇතිකමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ නුවණ යොදා මෙනෙහි කිරීම කියා ය.

මහණෙනි, මම නුවණ යොදා මෙනෙහි කිරීම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. නුවණ යොදා මෙනෙහි කිරීමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ ශ්‍රද්ධාව කියා ය.

මහණෙනි, මම ශ්‍රද්ධාව ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. ශ්‍රද්ධාවට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ සද්ධර්මයට සවන් දීම කියා ය.

මහණෙනි, මම සද්ධර්මයට සවන් දීම ද ආහාර සහිත යැයි කියමි. ආහාර රහිත යැයි නොකියමි. සද්ධර්මයට සවන්දීමට ඇති ආහාරය කුමක් ද? එයට කිව යුත්තේ සත්පුරුෂ ඇසුර කියා ය.

මහණෙනි, මේ අයුරින් සත්පුරුෂයන්ගේ ඇසුර පිරිපුන් වීමෙන් සද්ධර්මයට සවන් දීම සම්පූර්ණ වෙයි. සද්ධර්මයට සවන් දීම පිරිපුන් වීමෙන් ශ්‍රද්ධාව සම්පූර්ණ වෙයි. ශ්‍රද්ධාව පිරිපුන් වීමෙන් නුවණ යොදා මෙනෙහි කිරීම සම්පූර්ණ වෙයි. නුවණ යොදා මෙනෙහි කිරීම පිරිපුන් වීමෙන් සිහිය ත්, නුවණ ත් ඇතිකම සම්පූර්ණ වෙයි. සිහිය ත්, නුවණ ත් ඇතිකම පිරිපුන් වීමෙන් ඉන්ද්‍රියයන්ගේ සංවරය සම්පූර්ණ වෙයි. ඉන්ද්‍රිය සංවරය පිරිපුන් වීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙයි. ත්‍රිවිධ සුචරිතය පිරිපුන් වීමෙන් සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙයි. සතර සතිපට්ඨාන පිරිපුන් වීමෙන් සප්ත බොජ්ඣංග සම්පූර්ණ වෙයි. සප්ත බොජ්ඣංග පිරිපුන් වීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙයි. මේ අයුරින් විද්‍යා විමුක්තියට ආහාරය වෙයි. මේ අයුරින් පිරිපුන් ව යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කඳු මුදුනට මහත් දිය බිඳු සහිත වැස්ස වසින කල්හී එය ගලා යද්දී බෑවුම ඇති දිශාවට ඒ ජලය ගලයි. පර්වත, දියඇලි, පොළොවෙහි පැල්ම, කුඩා දියඇලි ආදිය පිරිපුන් කරයි. පර්වත, දියඇලි, පොළොවෙහි පැල්ම, කුඩා දියඇලි ආදිය පිරිපුන් කරමින් කුඩා වළවල් පුරවා දමයි. කුඩා වළවල් පුරවා දමමින් මහ වළවල් පුරවා දමයි. මහ වළවල් පුරවා දමමින් කුඩා නදීන් පුරවා දමයි. කුඩා නදීන් පුරවා දමමින් මහා නදීන් පුරවා දමයි. මහා නදීන් පුරවා දමමින් මහා සාගරය පුරවා දමයි. මෙසේ මහා සමුද්‍රය වූ මහා සාගරයට ආහාරය වෙයි. මේ අයුරින් මහා සාගරය පිරිපුන් බවට යයි.

මහණෙනි, ඔය අයුරින් ම සත්පුරුෂයන්ගේ ඇසුර පිරිපුන් වීමෙන් සද්ධර්මයට සවන් දීම සම්පූර්ණ වෙයි. සද්ධර්මයට සවන් දීම පිරිපුන් වීමෙන් ශ්‍රද්ධාව සම්පූර්ණ වෙයි. ශ්‍රද්ධාව පිරිපුන් වීමෙන් නුවණ යොදා මෙනෙහි කිරීම සම්පූර්ණ වෙයි. නුවණ යොදා මෙනෙහි කිරීම පිරිපුන් වීමෙන් සිහිය ත්, නුවණ ත් ඇතිකම සම්පූර්ණ වෙයි. සිහිය ත්, නුවණ ත් ඇතිකම පිරිපුන් වීමෙන් ඉන්ද්‍රියයන්ගේ සංවරය සම්පූර්ණ වෙයි. ඉන්ද්‍රිය සංවරය පිරිපුන් වීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙයි. ත්‍රිවිධ සුචරිතය පිරිපුන් වීමෙන් සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙයි. සතර සතිපට්ඨාන පිරිපුන් වීමෙන් සප්ත බොජ්ඣංග සම්පූර්ණ වෙයි. සප්ත බොජ්ඣංග පිරිපුන් වීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙයි. මේ අයුරින් විද්‍යා විමුක්තියට ආහාරය වෙයි. මේ අයුරින් පිරිපුන් ව යයි.

සාදු! සාදු!! සාදු!!!

අවිජ්ජා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M