සැවැත් නුවර දී ය ………………
“මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා හට ‘පසුතැවිලි නැති බව මා තුළ පහළ වේවා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, සීලයෙන් යුක්ත වූ සීලවන්තයා තුළ ‘පසුතැවිල්ල නැති බව උපදින්නේ ය’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, පසුතැවිලි නැත්තහුට ‘ප්‍රමුදිත බව මා තුළ පහළ වේවා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, පසුතැවිලි නැති තැනැත්තා තුළ ‘ප්‍රමුදිත බව ඉපදීම’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, ප්‍රමුදිතවූවහුට ‘මා තුළ ප්‍රීතිය උපදීවා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, ප්‍රමුදිත ව සිටින්නහු තුළ ‘ප්‍රීතිය ඉපදීම’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, ප්‍රීති සිත් ඇත්තහුට ‘මාගේ කය සංසිඳී සැහැල්ලු වේවා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, ප්‍රීතිමත් සිත් ඇති ව සිටින්නහු තුළ ‘කය සංසිඳී සැහැල්ලු වීම’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, සංසිඳී සැහැල්ලු වී ගිය කය ඇත්තහුට ‘සැප විඳින්නෙක් වෙම්වා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, සංසිඳී ගිය සැහැල්ලු වී ගිය කය ඇති තැනැත්තා ‘සැප විඳින්නේ ය’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, සැපයෙන් වසන්නහුට ‘මාගේ සිත සමාධිමත් වේවා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, සැප ඇත්තහුගේ සිත ‘සමාධියට පත්වන්නේ’ ය යන මෙය ධර්මතාවකි.
මහණෙනි, සමාධිමත් සිත් ඇත්තහුට ‘ඇත්ත ඇති සැටියෙන් ම දනිම්වා යි, දකිම්වා ’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, චිත්ත සමාධියෙන් යුතු තැනැත්තා ‘ඇත්ත ඇති සැටියෙන් ම දැනගන්නේ ය, දැකගන්නේ ය’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, ඇත්ත ඇති සැටියෙන් ම දන්නහුට, දක්නහුට ‘අවබෝධයෙන් මැ එපා වූයෙක් වෙම්වා, නොඇලුණෙක් වෙම්වා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, ඇත්ත ඇති සැටියෙන් ම දැනගත් කෙනාට, දැකගත් කෙනාට ‘අවබෝධයෙන්ම එපා වන්නේ ය, එහි නොඇලීමට පත්වන්නේ ය’ යන මෙය ධර්මතාවකි.
මහණෙනි, අවබෝධයෙන් ම එපාවූවහුට, නොඇල්මට පත්වූවහුට ‘මෙයින් සදහට ම නිදහස් වැ ගිය බව දන්නා නුවණ අත්දකිම්වා’යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, අවබෝධයෙන් ම එපා වූ තැනැත්තා, නොඇල්මට පත් වූ තැනැත්තා ‘තමා සදහට ම එයින් නිදහස් ව ගිය බව දන්නා නුවණ අත්දකින්නේ ය’ යන මෙය ධර්මතාවකි.
මේ අයුරින් මහණෙනි, තමා සදහට ම නිදහස් වී ගිය දන්නා නුවණ නම් වූ යහපත, තමා සදහට ම නිදහස් වී ගිය දන්නා නුවණ නම් වූ ආනිශංසය ලැබෙන්නේ අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත් වීමෙනි. අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත් වීම නම් වූ යහපත, අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත් වීම නම් වූ ආනිශංසය ලැබෙන්නේ ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණිනි. ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ නම් වූ යහපත, ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ නම් වූ ආනිශංසය ලැබෙන්නේ සමාධියෙනි. සමාධිය නම් වූ යහපත, සමාධිය නම් වූ ආනිශංසය ලැබෙන්නේ සැපයෙනි. සැපය නම් වූ යහපත, සැපය නම් වූ ආනිශංසය ලැබෙන්නේ කය සංසිඳී සැහැල්ලු වීමෙනි. කය සංසිඳී සැහැල්ලු වීම නම් වූ යහපත, කය සංසිඳී සැහැල්ලු වීම නම් වූ ආනිශංසය ලැබෙන්නේ ප්‍රීතියෙනි. ප්‍රීතිය නම් වූ යහපත, ප්‍රීතිය නම් වූ ආනිශංසය ලැබෙන්නේ ප්‍රමුදිත භාවයෙනි. ප්‍රමුදිත භාවය නම් වූ යහපත, ප්‍රමුදිත භාවය නම් වූ ආනිශංසය ලැබෙන්නේ පසුතැවිල්ල නැති නිසාවෙනි. පසුතැවිලි නැති බව නම් වූ යහපත, පසුතැවිලි නැති බව නම් වූ ආනිශංසය ලැබෙන්නේ කුසල් සිල්වලිනි.
මහණෙනි, සසර නම් වූ මෙතෙර අත්හැර කෙලෙස් සැඩපහර තරණය කොට එතෙර නම් වූ නිවන තෙක් යෑම පිණිස ඔය අයුරින් ධර්මයෝ ම අනුපිළිවෙලින් ධර්මයන් දියුණුවට ගෙන යති. ධර්මයෝ ම අනුපිළිවෙලින් ධර්මයන් පිරිපුන් බවට පත්කෙරෙති.
සාදු! සාදු!! සාදු!!!
චේතනා කරණීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M