අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.1.10. විජ්ජා සුත්තං

10.1.1.10. ත්‍රිවිද්‍යාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………………

මහණෙනි, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වූයේ ත් වෙයි. එනමුදු සිල්වත් වූයේ නොවෙයි. මේ අයුරින් ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ඒ භික්ෂුව විසින් ‘මම් සැදැහැවතෙකුත් වී සිල්වතෙකුත් වී සිටින්නේ කෙසේදැ’යි ඒ අංගය සම්පූර්ණ කළ යුතු ය. මහණෙනි, යම් කලෙක භික්ෂුව සැදැහැවත් වූයේ ත් වේ ද, සිල්වත් වූයේ ත් වේ ද, මෙසේ ඔහු ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

මහණෙනි, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වූයේ ත් වෙයි. ….(පෙ)…. සිල්වත් වූයේ ත් වෙයි. එනමුදු ධර්මය බොහෝ කොට නොඅසන ලද්දේ වෙයි. ….(පෙ)…. ධර්මය බොහෝ කොට අසන ලද්දේ ත් වෙයි. එනමුදු ධර්ම කථිකයෙක් නොවෙයි. ….(පෙ)…. ධර්ම කථිකයෙක් ද වෙයි. එනමුදු පිරිස අතර නොසිටින්නේ වෙයි. ….(පෙ)…. පිරිස අතර සිටින්නේ ද වෙයි. එනමුදු පිරිස් මැද විශාරද ව ධර්මය නොදෙසන්නේ වෙයි. ….(පෙ)…. පිරිස් මැද විශාරද ව ධර්මය දෙසන්නේ ද වෙයි. එනමුදු විනයධරයෙක් නොවෙයි. ….(පෙ)…. විනයධරයෙක් ද වෙයි. එනමුදු නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහි නොකරන්නේ වෙයි. එනම් එක උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ ආකාර සහිත වූ සවිස්තර වූ නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නේ වෙයි. ….(පෙ)….. නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නේ වෙයි. එනම් එක උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ ආකාර සහිත වූ, සවිස්තර වූ, නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන්නේ වෙයි. එනමුදු මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිවැස් නුවණින් ….(පෙ)…. කර්මානුරූප ව මැරෙන ඉපදෙන සතුන් නොදකින්නේ වෙයි. ….(පෙ)…. මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිවැස් නුවණින් ….(පෙ)…. කර්මානුරූප ව මැරෙන ඉපදෙන සතුන් දකින්නේ වෙයි. එනමුදු ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ලබන ආශ්‍රව රහිත චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය නොකරන්නේ වෙයි.

මේ අයුරින් ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ඒ භික්ෂුව විසින් ‘කෙසේ නම් මම් සැදැහැවතෙකු ව, සිල්වතෙකු ව, ධර්මයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති ව, ධර්මකථික ව, පිරිස් අතර සිටිමින්, විශාරද ව පිරිස් මැද දහම් දෙසමින්, විනයධර ව, නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහි කරමින්, එනම් එක උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ ආකාර සහිත වූ, සවිස්තර වූ නෙයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහිකරමින්, ….(පෙ)…. මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිවැස් නුවණින් ….(පෙ)…. කර්මානුරූප ව මැරෙන ඉපදෙන සතුන් දකිමින්, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් විශිෂ්ට වූ නුවණින් මේ ජීවිතයේ දී ම ලබා එයට සමවදිමින් සිටින්නෙම් දැ’යි ඒ අංගය සම්පූර්ණ කළ යුතු ය.

මහණෙනි, යම් කලෙක භික්ෂුව සැදැහැවත් වූයේ ත් වේ ද, සිල්වත් වූයේ ත් වේ ද, ධර්මයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති වූයේ ත් ද, ධර්මකථික වූයේ ත් ද, පිරිස් අතර සිටියේ ත් වේ ද, විශාරද ව පිරිස් මැද දහම් දෙසන්නේ ත් වේ ද, විනයධර වූයේ ත් වේ ද, නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නේ ත් වේ ද, එනම් එක උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ ආකාර සහිත වූ, සවිස්තර වූ, නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නේ ත් වෙයි ද, මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිවැස් නුවණින් ….(පෙ)…. කර්මානුරූප ව මැරෙන ඉපදෙන සතුන් දකින්නේ ත් වේ ද, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් විශිෂ්ට වූ නුවණින් මේ ජීවිතයේ දී ම ලබා එයට සමවදිමින් සිටින්නේ ත් වේ ද මෙසේ ඔහු ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.

මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත වූ භික්ෂුව හැමඅතින් ම පැහැදීම ඇති කරන්නේ ද වෙයි. සියලු ආකාරයෙන් ම සම්පූර්ණ වූයේ ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

විජ්ජා සූත්‍රය නිමා විය.

පළමුවෙනි ආනිසංස වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

කිමත්ථිය සූත්‍රය, චේතනා සූත්‍රය, සීල සූත්‍රය, උපනිස සූත්‍රය, ආනන්ද සූත්‍රය, සමාධි සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, සද්ධ සූත්‍රය, සන්ත සූත්‍රය, විජ්ජා සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M