අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.11. අනුපුබ්බනිරෝධ සුත්තං

9.1.3.11. පිළිවෙලින් නිරුද්ධ වීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පිළිවෙලින් නිරුද්ධ වීම් නවයකි. ඒ කවර නවයක් ද යත්;

ප්‍රථම ධ්‍යානයට සමවැදී සිටින කෙනාගේ කාම සංඥා නිරුද්ධ වෙයි. දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාගේ විතර්ක විචාර නිරුද්ධ වෙයි. තුන්වෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාගේ ප්‍රීතිය නිරුද්ධ වෙයි. සතරවෙනි ධ්‍යානයට සමවැදී සිටින කෙනාගේ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධ වෙයි. ආකාසානඤ්චායතනයනට සමවැදී සිටින කෙනාගේ රූප සංඥා නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදී සිටින කෙනාගේ ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදී සිටින කෙනාගේ විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී සිටින කෙනාගේ ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වෙයි. සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කෙනාගේ සංඥා ත්, වේදනා ත් නිරුද්ධ වෙයි.

මහණෙනි, මේ වනාහී පිළිවෙලින් නිරුද්ධ වීම් නවය යි.

සාදු! සාදු!! සාදු!!!

අනුපුබ්බ නිරෝධ සූත්‍රය නිමා විය.

තුන්වෙනි සත්තාවාස වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඨාන සූත්‍රය, ඛලුංක සූත්‍රය, තණ්හාමූලක සූත්‍රය, සත්තාවාස සූත්‍රය, පඤ්ඤාපරිචිත සූත්‍ර දෙක, සිලායූප සූත්‍රය, වේර සූත්‍ර දෙක, ආඝාත සූත්‍ර දෙක සහ අනුපුබ්බනිරෝධ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර එකොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M