සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා තනිව ම, හුදෙකලාව, අප්රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මා හට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්” නම් මැනැවි.
“මෙහිලා මෙසේ ම ඇතැම් හිස් පුරුෂයෝ මගෙන් ඉල්ලා සිටිති. ධර්මය දෙසූ කල්හී මා පසුපස ම ලුහුබැඳ පැමිණිය යුතු යැයි හඟිති.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට කෙටියෙන් ධර්මය දේශනා කරන සේක්වා! සුගතයන් වහන්ස, මා හට කෙටියෙන් ධර්මය දේශනා කරන සේක්වා! මම භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණෙහි අර්ථ දැනගන්නෙම් නම් යහපති. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට දායාද වන්නෙම් නම් යහපති.”
“එහෙයින් භික්ෂුව ඔබ මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත ආධ්‍යාත්මයෙහි ම මනාකොට පිහිටා සිටියේ වන්නේ ය. උපන් පාපී අකුසල දහම් ද සිත මැඩගෙන නොසිටින්නේ ය’ යනුවෙනි. භික්ෂුව, ඔබ මෙසේ ම හික්මිය යුත්තේ ය.
භික්ෂුව, යම් කලක ඔබගේ සිත ආධ්‍යාත්මයෙහි මනාව පිහිටා තිබේ ද, උපන් පාපී අකුසල ධර්මයන් සිත යටකොට නොයයි ද, එකල්හී භික්ෂුව, ඔබ මෙසේ හික්මිය යුත්තේ ය. ‘මා විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, ලැග සිටින තැනක් මෙන් කරන ලද්දේ, මැනැවින් පවත්වන ලද්දේ, ඉතා හොඳින් අරඹන ලද්දේ වන්නේ ය’ කියා ය. භික්ෂුව, ඔබ මෙසේ ම හික්මිය යුත්තේ ය.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මේ සමාධිය විතර්ක සහිත ව ත්, විචාර සහිත ව ත් වඩන්න. විතර්ක නැති ව ත්, විචාර මාත්‍ර ඇති ව ත් වඩන්න. විතර්ක රහිත කොට ත්, විචාර රහිත කොට ත් වඩන්න. ප්‍රීතිය සහිත කොට ත් වඩන්න. ප්‍රීතිය රහිත කොට ත් වඩන්න. සැප සහගත ව ත් වඩන්න. උපේක්ෂා සහගත ව ත් වඩන්න.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ කරුණා චිත්ත විමුක්තිය ….(පෙ)…. මගේ මුදිතා චිත්ත විමුක්තිය ….(පෙ)…. මාගේ උපේක්ඛා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, යානාවන් මෙන් කරන ලද්දේ, ලැග සිටින තැනක් මෙන් කරන ලද්දේ, මැනැවින් පවත්වන ලද්දේ, ඉතා හොඳින් අරඹන ලද්දේ වන්නේ ය’ කියා ය. භික්ෂුව ඔබ මෙසේ ම හික්මිය යුත්තේ ය.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මේ සමාධිය විතර්ක සහිත ව ත්, විචාර සහිත ව ත් වඩන්න. විතර්ක නැති ව ත්, විචාර මාත්‍ර ඇති ව ත් වඩන්න. විතර්ක රහිත කොට ත්, විචාර රහිත කොට ත් වඩන්න. ප්‍රීතිය සහිත කොට ත් වඩන්න. ප්‍රීතිය රහිත කොට ත් වඩන්න. සැප සහගත ව ත් වඩන්න. උපේක්ෂා සහගත ව ත් වඩන්න.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මෙසේ හික්මිය යුතුයි. ‘කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනා භාවනාවෙන් වසන්නෙමි’ යි කියා භික්ෂුව, ඔබ මෙසේ ම හික්මිය යුතුයි.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මේ සමාධිය විතර්ක සහිත ව ත්, විචාර සහිත ව ත් වඩන්න. විතර්ක නැති ව ත්, විචාර මාත්‍ර ඇති ව ත් වඩන්න. විතර්ක රහිත කොට ත්, විචාර රහිත කොට ත් වඩන්න. ප්‍රීතිය සහිත කොට ත් වඩන්න. ප්‍රීතිය රහිත කොට ත් වඩන්න. සැප සහගත ව ත් වඩන්න. උපේක්ෂා සහගත ව ත් වඩන්න.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මෙසේ හික්මිය යුතුයි. ‘කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනා භාවනාවෙන් ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනා භාවනාවෙන් ….(පෙ)…. ධර්මයන් පිළිබඳ ව ධම්මනාපස්සනා භාවනාවෙන් වසන්නෙමි’ යි කියා භික්ෂුව, ඔබ මෙසේ ම හික්මිය යුතුයි.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ මේ සමාධිය විතර්ක සහිත ව ත්, විචාර සහිත ව ත් වඩන්න. විතර්ක නැති ව ත්, විචාර මාත්‍ර ඇති ව ත් වඩන්න. විතර්ක රහිත කොට ත්, විචාර රහිත කොට ත් වඩන්න. ප්‍රීතිය සහිත කොට ත් වඩන්න. ප්‍රීතිය රහිත කොට ත් වඩන්න. සැප සහගත ව ත් වඩන්න. උපේක්ෂා සහගත ව ත් වඩන්න.
යම් කලක භික්ෂුව, ඔබ විසින් මේ සමාධිය මෙසේ දියුණු කරන ලද්දේ ද, බහුල ව කරන ලද්දේ ද, එකල්හී භික්ෂුව, ඔබ යම් යම් තැනක යන්නෙහි නම් ඔබ පහසුවෙන් ම යන්නෙහි ය. යම් යම් තැනක සිටිහි නම් පහසුවෙන් ම සිටින්නෙහි ය. යම් යම් තැනක හිඳින්නෙහි නම් පහසුවෙන් ම හිඳින්නෙහි ය. යම් යම් තැනක සැතපෙන්නෙහි නම් පහසුවෙන් ම සැතපෙන්නෙහි ය.
එකල්හී ඒ භික්ෂුව තනිවී, හුදෙකලා වී, අප්රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නේ යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම බුදුසසුනෙහි පැවිදි වෙත් ද, ඒ අරුත වන බඹසර අවසන් කොට ඇති අනුත්තර නිර්වාණය මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කළේ ය. ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන් මග පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගත්තේ ය. ඒ භික්ෂුව රහතන් වහන්සේලා අතුරින් එක්තරා රහත් නමක් බවට පත්වූයේ ය.
සාදු! සාදු!! සාදු!!!
සංඛිත්තදේසිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M