එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව හුන් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා යම්බඳු මම හුදෙකලාව, අප්රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මා හට සංක්ෂේපයෙන් ධර්මය වදාරණ සේක් නම් යහපති.”
“ගෞතමිය, ඔබ ‘මේ ධර්මයෝ සරාගය පිණිස පවතිත්. විරාගය පිණිස නොපවතිත්. කෙලෙසුන් හා එක්වීම පිණිස පවතිත්. කෙලෙසුන් හා එක්නොවීම පිණිස නොපවතිත්. සසර ගමන පිණිස පවතිත්. සසරින් මිදීම පිණිස නොපවතිත්. අධික ආශාව පිණිස පවතිත්. අල්පේච්ඡතාවය පිණිස නොපවතිත්. ලද දෙයින් නොසතුටු වීම පිණිස පවතිත්. ලද දෙයින් සතුටු වීම පිණිස නොපවතිත්. පිරිස සමඟ ඇලීම පිණිස පවතිත්. හුදෙකලා වාසය පිණිස නොපවතිත්. කුසීතකම පිණිස පවතිත්. වීරිය ඇරඹීම පිණිස නොපවතිත්. දුක සේ පෝෂණය කිරීම පිණිස පවතිත්. පහසුවෙන් පෝෂණය කිරීම පිණිස නොපවතිත්’ යැයි ඔබ යම් ධර්මයන් පිළිබඳ ව දන්නී නම් ඒකාන්තයෙන් ම ගෞතමිය, මෙය දරා ගත යුත්තී ය. එනම් මෙය ධර්මය නොවෙයි, මෙය විනය නොවෙයි, මෙය ශාස්තෘ ශාසනය නොවෙයි කියා ය.
ගෞතමිය, ඔබ ‘මේ ධර්මයෝ විරාගය පිණිස පවතිත්. සරාගය පිණිස නොපවතිත්. කෙලෙසුන් හා එක්නොවීම පිණිස පවතිත්. කෙලෙසුන් හා එක්වීම පිණිස නොපවතිත්. සසරින් මිදීම පිණිස පවතිත්. සසර ගමන පිණිස නොපවතිත්. අල්පේච්ඡතාව පිණිස පවතිත්. අධික ආශාව පිණිස නොපවතිත්. ලද දෙයින් සතුටු වීම පිණිස පවතිත්. ලද දෙයින් සතුටු නොවීම පිණිස නොපවතිත්. හුදෙකලා වාසය පිණිස පවතිත්. පිරිස සමඟ ඇලීම පිණිස නොපවතිත්. වීරිය ඇරඹීම පිණිස පවතිත්. කුසීතකම පිණිස නොපවතිත්. පහසුවෙන් පෝෂණය කිරීම පිණිස පවතිත්. දුක සේ පෝෂණය කිරීම පිණිස නොපවතිත්’ යැයි ඔබ යම් ධර්මයන් පිලිබඳ ව දන්නී නම් ඒකාන්තයෙන් ම ගෞතමිය, මෙය දරා ගත යුත්තී ය. එනම් මෙය ධර්මය වෙයි, මෙය විනය වෙයි, මෙය ශාස්තෘ ශාසනය වෙයි කියා ය.”
සාදු! සාදු!! සාදු!!!
සංඛිත්ත ගෝතමියෝවාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M