එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ දිවා විහරණය පිණිස වැඩම කොට භාවනාවෙන් සිටියහ. එවිට බොහෝ මනාපකායික දේවතාවියෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිටියාහු ය. එකත්පස් ව සිටි ඒ දේවතාවියෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සැලකළහ.
“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, අපි මනාපකායික දේවතාවියෝ වෙමු. තුන් තැනක ඉසුරුමත් ව සිටිමු. වසඟයෙහි පවත්වමු. ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, අපි යම් බඳු සිරුරු පැහැයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු සිරුරු පැහැයක් ලබන්නෙමු. අපි යම්බඳු ස්වරයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු ස්වරයක් ලබන්නෙමු. අපි යම්බඳු සැපයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු සැපයක් ලබන්නෙමු. ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මනාපකායික දේවතාවියන් වන අපි මේ තුන් තැනෙහි ඉසුරුමත් බවින් සිටිමු. වසඟයෙහි පවත්වන්නෙමු.”
එකල්හී ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.
‘සැබැවින් ම මේ සියළු දේවතාවියෝ නිල් වෙත් නම්, නිල් පැහැ ඇත්තියෝ වෙත් නම්, නිල් වස්ත්‍ර ඇත්තියෝ වෙත් නම්, නීලාලංකාර ඇත්තියෝ වෙත් නම් මැනැවි.’
එවිට ඒ දේවතාවියෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ සිත දැන සියල්ලෝ නිල් පැහැ ඇති ව, නිල් වත් ඇති ව, නීලාලංකාර ඇති ව සිටියාහු ය.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.
‘සැබැවින් ම මේ සියළු දේවතාවියෝ කහ වෙත් නම්, ….(පෙ)…. රතු වෙත් නම්, ….(පෙ)…. සැබැවින් ම මේ සියළු දේවතාවියෝ සුදු වෙත් නම්, සුදු පැහැ ඇත්තියෝ වෙත් නම්, සුදු වස්ත්‍ර ඇත්තියෝ වෙත් නම්, ශ්වේතාලංකාර ඇත්තියෝ වෙත් නම් මැනැවි.’
එවිට ඒ දේවතාවියෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ සිත දැන සියල්ලෝ සුදු පැහැ ඇති ව, සුදු වත් ඇති ව, ශ්වේතාලංකාර ඇති ව සිටියාහු ය.
එකල්හී ඒ දේවතාවියන් අතුරින් එකියක් ගැයුවා ය. තව එකියක් නැටුවා ය. තව ත් එකියක් තාලම්පොට වාදනය කළා ය. යම් සේ මැනැවින් සකසන ලද, ස්වරයන් ගලපන ලද, දක්ෂයින් විසින් මැනැවින් වාදනය කරන ලද, පංචාංගික තූර්ය නාදයෙහි යම් මිහිරි වූ ත්, කෙලෙස් හටගන්නා වූ ත්, කමනීය වූ ත්, ප්‍රේමනීය වූ ත්, මදනීය වූ ත් හඬක් වෙයි ද, එසෙයින් ම ඒ අලංකාර වූ දේවතාවියන්ගේ හඬ මිහිරි ත් වෙයි. රජනීය ත් වෙයි. කමනීය ත් වෙයි. ප්‍රේමනීය ත් වෙයි. මදනීය ත් වෙයි. එවිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ නේත්‍රයන් පහතට හැරවූ සේක. එවිට ඒ දේවතාවියෝ ආර්ය වූ අනුරුද්ධයන් වහන්සේ මෙය නොපිළිගන්නා සේක් නොවැ යි එහි ම නොපෙනී ගියහ.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මෙහි මම දිවා විහරණය පිණිස ගොස් භාවනාවෙන් සිටියෙමි. එවිට බොහෝ මනාපකායික දේවතාවියෝ මා වෙත පැමිණියාහු ය. පැමිණ මා හට වන්දනා කොට එකත්පස් ව සිටියාහු ය. එකත්පස් ව සිටි ඒ දේවතාවියෝ මා හට මෙය සැලකළහ.
‘ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, අපි මනාපකායික දේවතාවියෝ වෙමු. තුන් තැනක ඉසුරුමත් ව සිටිමු. වසඟයෙහි පවත්වමු. ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, අපි යම් බඳු සිරුරු පැහැයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු සිරුරු පැහැයක් ලබන්නෙමු. අපි යම්බඳු ස්වරයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු ස්වරයක් ලබන්නෙමු. අපි යම්බඳු සැපයක් කැමති වෙමු නම්, සැණෙකින් එබඳු සැපයක් ලබන්නෙමු. ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මනාපකායික දේවතාවියන් වන අපි මේ තුන් තැනෙහි ඉසුරුමත් බවින් සිටිමු. වසඟයෙහි පවත්වන්නෙමු.’
ස්වාමීනී, ඒ මට මේ අදහස ඇතිවූයේ ය.
‘සැබැවින් ම මේ සියළු දේවතාවියෝ නිල් වෙත් නම්, නිල් පැහැ ඇත්තියෝ වෙත් නම්, නිල් වස්ත්‍ර ඇත්තියෝ වෙත් නම්, නීලාලංකාර ඇත්තියෝ වෙත් නම් මැනැවි.’
එවිට ස්වාමීනී, ඒ දේවතාවියෝ මාගේ සිත දැන සියල්ලෝ නිල් පැහැ ඇති ව, නිල් වත් ඇති ව, නීලාලංකාර ඇති ව සිටියාහු ය.
ස්වාමීනී, ඒ මට මේ අදහස ඇතිවූයේ ය.
‘සැබැවින් ම මේ සියළු දේවතාවියෝ කහ වෙත් නම්, ….(පෙ)…. රතු වෙත් නම්, ….(පෙ)…. සැබැවින් ම මේ සියළු දේවතාවියෝ සුදු වෙත් නම්, සුදු පැහැ ඇත්තියෝ වෙත් නම්, සුදු වස්ත්‍ර ඇත්තියෝ වෙත් නම්, ශ්වේතාලංකාර ඇත්තියෝ වෙත් නම් මැනැවි.’
එවිට ස්වාමීනී, ඒ දේවතාවියෝ මාගේ සිත දැන සියල්ලෝ සුදු පැහැ ඇති ව, සුදු වත් ඇති ව, ශ්වේතාලංකාර ඇති ව සිටියාහු ය.
එකල්හී ඒ දේවතාවියන් අතුරින් එකියක් ගැයුවා ය. තව එකියක් නැටුවා ය. තව ත් එකියක් තාලම්පොට වාදනය කළා ය. යම් සේ මැනැවින් සකසන ලද, ස්වරයන් ගලපන ලද, දක්ෂයින් විසින් මැනැවින් වාදනය කරන ලද, පංචාංගික තූර්ය නාදයෙහි යම් මිහිරි වූ ත්, කෙලෙස් හටගන්නා වූ ත්, කමනීය වූ ත්, ප්‍රේමනීය වූ ත්, මදනීය වූ ත් හඬක් වෙයි ද, එසෙයින් ම ඒ අලංකාර වූ දේවතාවියන්ගේ හඬ මිහිරි ත් වෙයි. රජනීය ත් වෙයි. කමනීය ත් වෙයි. ප්‍රේමනීය ත් වෙයි. මදනීය ත් වෙයි. එවිට ස්වාමීනී, මාගේ නේත්‍රයන් පහතට හැරවූයෙමි. එකල්හී ස්වාමීනී, ඒ දේවතාවියෝ ආර්ය වූ අනුරුද්ධයන් වහන්සේ මෙය නොපිළිගන්නා සේක් නොවැ යි එහි ම නොපෙනී ගියහ.
ස්වාමීනී, ස්ත්‍රියක් කොතෙක් ධර්මයන්ගෙන් යුක්ත වූවා කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ද?”
“අනුරුද්ධයෙනි, අට කරුණකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය. ඒ කවර අටක් ද යත්;
1. අනුරුද්ධයෙනි, මෙහිලා මව්පියවරු යහපත කැමති ව, හිතවත් ව, අනුකම්පාවෙන්, අනුකම්පාව උපදවා යම් ස්වාමියෙකුට ස්ත්‍රියක් දෙත් නම්, ඇය ඒ ස්වාමියාට පළමු ව අවදිවන්නී, හැමට පසු ව නිදන්නී කුමක් කළ යුතු දැයි විමසන්නී, ප්‍රිය මනාප හැසිරීම් ඇති ව ප්‍රිය තෙපුල් ඇත්තී වෙයි.
2. යම් ඒ ස්වාමියාගේ ගුරුවරු වෙත් ද, මව හෝ පියා හෝ වෙත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හෝ වෙත් ද, ඔවුන්ට ද සත්කාර කරයි. ගරු කරයි. බුහුමන් කරයි. පුදයි. වෙත පැමිණි කල්හී ආසනයෙන් ද, පැනින් ද පුදයි.
3. ස්වාමියාගේ නිවසෙහි ඇති කටයුතු අතර එළුලොම් කැටීම වේවා, කපු කැටීම වේවා, එහිලා දක්ෂ වෙයි. අලස නැත්තී වෙයි. කටයුතු සංවිධානය කිරීමෙහි උපාය වීමංසනයෙන් යුතු වෙයි.
4. ස්වාමියාගේ යම් ඒ අභ්‍යන්තර ජනයා වෙත් ද, මෙහෙකරුවන් වේවා, දාසයන් වේවා, කම්කරුවන් වේවා සිටිත් ද, ඔවුන් කළ දේ කළ දේ වශයෙන් දන්නීය. නොකළ දේ නොකළ දේ වශයෙන් දන්නී ය. ගිලන් වූවන්ගේ ගිලන් බව ත්, බල – දුබල බව ත් දන්නී ය. ඔවුන් හට කන බොන දෑ බෙදා හදා දෙන්නී ය.
5. තම ස්වාමියා යම් ධනයක් හෝ ධාන්‍යයක් හෝ රනක් හෝ රැගෙන එයි නම්, එය ආරක්ෂා කරයි. රකියි. එහිලා ධූර්ත නැත්තී, සොර නැත්තී, ලොල් නැත්තී, එය නොනසන්නී වෙයි.
6. බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය උපාසිකාවක් වෙයි.
7. සිල්වත් වෙයි. සතුන් මැරීමෙන් වැළකුණී වෙයි. සොරකමින් වැළකුණී වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණී වෙයි. බොරු කීමෙන් වැළකුණී වෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණී වෙයි.
8. ත්‍යාගවන්තියක් වෙයි. මසුරුමල දුරු වූ සිතින් ගෙදර වසන්නී වෙයි. දානය පිණිස අත්හැර දොවනා ලද අත් ඇත්තී වෙයි. අනුන්ගේ ඉල්ලීමට සුදුසු වන්නී වෙයි. දන් බෙදන්නී වෙයි. දන් බෙදීමෙහි ඇලුණී වෙයි.
අනුරුද්ධයෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.
(ගාථා)
1. යම් පුරුෂයෙක් හැම විට, නිතර බලවත් වීරියෙන් යුතුව, උත්සාහයෙන් යුතුව යම් ස්ත්‍රියක් පෝෂණය කරයි ද, ඒ ගෘහණිය තමාට කැමති සියල්ල දෙන ස්වාමියා හෙලා නොදකින්නී ය.
2. නුවණැති ස්ත්‍රිය ස්වාමියා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබනින්නී වෙයි. ස්වාමියාගේ ගුරුතන්හි සිටින සියල්ලන් පුදන්නී වෙයි.
3. නැගී සිටින වීරිය ඇත්තී වෙයි. කම්මැලි නැත්තී වෙයි. පරිවාර ජනයාට සංග්‍රහ කරන්නී වෙයි. ස්වාමියාගේ සිත් සතුටු කරමින් හැසිරෙන්නී ඔහු ඉපැයූ ධනය රකින්නී වෙයි.
4. යම් ස්ත්‍රියක් මෙසේ ස්වාමියාට සේවය කොට ස්වාමියාගේ කැමැත්ත අනුව සිටියා වෙයි ද, ඕ තොමෝ මනාප කායික (නිම්මාණරතී) දෙවියන් සිටින තැන උපදින්නී ය.
සාදු! සාදු!! සාදු!!!
අනුරුද්ධ මනාපකායික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M