අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.3.6. ජීවක සුත්තං

8.1.3.6. ජීවක කෝමාරභච්චට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක අම්බවනයෙහි වැඩවසන සේක. එකල්හී ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, උපාසකයෙක් වන්නේ කවර කරුණු මත ද?”

“ජීවකයෙනි, යම් කලක සිට බුදුන් සරණ ගියේ වෙයි ද, ධර්මය සරණ ගියේ වෙයි ද, සංඝයා සරණ ගියේ වෙයි ද, මෙපමණකින් ජීවකයෙනි, උපාසකයෙක් වෙයි.”

“ස්වාමීනී, උපාසක තෙමේ සිල්වතෙක් වන්නේ කවර කරුණු මත ද?”

“ජීවකයෙනි, යම් කලක පටන් උපාසකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ද, ….(පෙ)…. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි ද, ජීවකයෙනි, මෙපමණකින් උපාසක තෙමේ සිල්වතෙක් වෙයි.”

“ස්වාමීනී, උපාසක තෙමේ තමාට හිතසුව පිණිස පිළිපදින්නේ ත්, අන්‍යයන්ට හිතසුව පිණිස නොපිළිපදින්නේ ත් කවර කරුණු මත ද?”

“ජීවකයෙනි, යම් කලක සිට උපාසක තෙමේ තමා ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අන්‍යයන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් නොකරවයි ද, ….(පෙ)…. තමා අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නමුත් අන්‍යයන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සමාදන් නොකරවයි ද, ජීවකයෙනි, මෙපමණකින් උපාසක තෙමේ තමාට හිතසුව පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට හිතසුව පිණිස නොපිළිපන්නේ වෙයි.

“ස්වාමීනී, උපාසක තෙමේ තමාට හිතසුව පිණිස පිළිපදින්නේ ත්, අන්‍යයන්ට හිතසුව පිණිස පිළිපදින්නේ ත් කවර කරුණු මත ද?”

“ජීවකයෙනි, යම් කලක සිට උපාසක තෙමේ තමා ත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ, අන්‍යයනුත් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයි ද, තමා ත් සීලයෙන් යුක්ත වූයේ අන්‍යයනුත් සීල සම්පත්තියෙහි සමාදන් කරවයි ද, තමාත් ත්‍යාගයෙන් යුක්ත වූයේ අන්‍යයනුත් ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයි ද, තමාත් භික්ෂූන් දකිනු කැමැත්තෙන් යුක්ත වූයේ අන්‍යයනුත් භික්ෂූන් දැකීම පිණිස සමාදන් කරවයි ද, තමා ත් දහම් අසනු කැමැත්තෙන් යුක්ත වූයේ අන්‍යයනුත් දහම් ඇසීම පිණිස සමාදන් කරවයි ද, තමා ත් ඇසූ දහම් දරන ස්වභාවයෙන් යුක්ත වූයේ අන්‍යයනුත් ධර්ම ධාරණයෙහි සමාදන් කරවයි ද, තමා ත් දැරූ ධර්මයන්ගේ අර්ථ මැනැවින් පිරික්සා බලන්නේ අන්‍යයනුත් අර්ථ පිරික්සා බැලීමට සමාදන් කරවයි ද, තමා ත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ අන්‍යයනුත් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සමාදන් කරවයි ද, ජීවකයෙනි, මෙපමණකින් උපාසක තෙමේ තමාට හිතසුව පිණිස ත් පිළිපන්නේ වෙයි. අනුන්ට හිතසුව පිණිස ත් පිළිපන්නේ වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

ජීවක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M