අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.3.4. හත්ථකාළවක සංගහවත්ථු සුත්තං

8.1.3.4. හත්ථකආළවක සංග්‍රහ වස්තු ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අළව් නුවර අග්ගාලව චෛත්‍ය ස්ථානයෙහි වැඩවෙසෙන සේක. එකල්හී හත්ථක ආළවක තෙමේ පන්සියයක් උපාසකයන් පිරිවරා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් හත්ථක ආළවක හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“හත්ථකයෙනි, ඔබගේ මේ පිරිස මහා විශාල නොවැ. හත්ථකයෙනි, ඔබ මේ පිරිසට කෙසේ නම් සංග්‍රහ කරන්නෙහි ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද යම් මේ සතර සංග්‍රහ වස්තුවක් ඇද්ද, මේ පිරිසට මම එයින් සංග්‍රහ කරමි. ස්වාමීනී, ‘මොහු දානයෙන් සංග්‍රහ කළ යුතු’ යැයි යමෙකු ගැන මම දනිම් ද, එවිට ඔහුට දානයෙන් සංග්‍රහ කරමි. මොහු ‘ප්‍රිය වචනයෙන් සංග්‍රහ කළ යුත්තේ ය’ යැයි යමෙකු ගැන මම දනිම් ද, එවිට ඔහුට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරමි. ‘මොහුට උදපදව් කිරීමෙන් සංග්‍රහ කළ යුතු’ යැයි මම යමෙකු ගැන දනිම් ද, එවිට ඔහුට උදපදව් කිරීමෙන් සංග්‍රහ කරමි. ‘මොහු සමානාත්මතාවයෙන් සංග්‍රහ කළ යුතු්තේ ය’ යැයි යමෙකු ගැන මම දනිම් ද, එවිට ඔහුට සමානාත්මතාවයෙන් සංග්‍රහ කරමි.

ස්වාමීනී, මාගේ කුලයෙහි භෝග සම්පත් ඇත්තේ ය. එහෙයින් සවන් දිය යුතු කරුණු වලදී දිළින්දෙකු කොට මාව නොහඟිති.”

“සාදු! සාදු! හත්ථකයෙනි. හත්ථකයෙනි, ඔබ මේ මහා පිරිසට සංග්‍රහ කරන්නට යම් කරුණුවලින් කටයුතු කළේ ද, හත්ථකයෙනි, අතීතයෙහි දී ත් යම් කිසිවෙක් පිරිසට සංග්‍රහ කළාහු ද, ඒ සියල්ලෝ මේ සිව් සඟරාවතින් ම මහත් වූ පිරිසට සංග්‍රහ කළාහු ය. හත්ථකයෙනි, අනාගතයෙහිදී ත් යම් කිසිවෙක් පිරිසට සංග්‍රහ කරන්නාහු ද, ඒ සියල්ලෝ මේ සිව් සඟරාවතින් ම මහත් වූ පිරිසට සංග්‍රහ කරන්නාහු ය. හත්ථකයෙනි, වර්තමානයෙහි ත් යම් කිසිවෙක් පිරිසට සංග්‍රහ කරත් ද, ඒ සියල්ලෝ මේ සිව් සඟරාවතින් ම මහත් වූ පිරිසට සංග්‍රහ කරති.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දැක්වූ, සමාදන් කළ, උත්සාහවත් කළ, සතුටට පත් කළ හත්ථක ආළවක තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, නික්ම ගියේ ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ හත්ථකආළවක පිටත්ව ගොස් නොබෝ වේලාවකින් භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ආශ්චර්ය අද්භූත අට කරුණකින් හත්ථකආළවක තෙමේ සමන්විත බව දරව්. ඒ කවර කරුණු අටකින් ද යත්;

මහණෙනි, හත්ථකආළවක තෙමේ සැදැහැවත් ය. මහණෙනි, හත්ථකආළවක තෙමේ සිල්වත් ය. මහණෙනි, හත්ථකආළවක තෙමේ පවට ලැජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ පවට භය ඇත්තෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ බහුශ්‍රැතයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ ප්‍රඥාවන්තයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ අල්පේච්ඡයෙකි.

මහණෙනි, මේ ආශ්චර්ය අද්භූත අට කරුණෙන් හත්ථකආළවක තෙමේ සමන්විත බව දරව්.”

සාදු! සාදු!! සාදු!!!

හත්ථකආළවක සංගහවත්ථු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M