මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජාවෙහි නලේරු නම් කොහොඹ රුක් සෙවණෙහි වැඩවසන සේක. එකල්හී වේරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් වේරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“භවත් ගෞතමයෙනි, ශ්‍රමණ ගෞතම තෙමේ ජරා ජීර්ණ වූ, වයෝවෘද්ධ වූ, මහළු වූ, බොහෝ වයසට ගිය බ්‍රාහ්මණයන්ට වැඳීමක් හෝ දැක නැගී සිටීමක් හෝ අසුනකින් පැවරීමක් හෝ නොකරයි කියා මවිසින් අසන ලද්දේ ය. භවත් ගෞතමයෙනි, එය සැබෑවක් නොවැ. භවත් ගෞතමයෝ ජරා ජීර්ණ වූ, වයෝවෘද්ධ වූ, මහළු වූ, බොහෝ වයසට ගිය බ්‍රාහ්මණයන්ට නොවඳිති. දැක නැගී නොසිටිති. අසුනෙන් නොපවරති. භවත් ගෞතමයෙනි, මෙකරුණ හොඳ දෙයක් නම් නොවෙයි.”
“බ්‍රාහ්මණය, මම යමෙකුට වඳින්නෙම් ද, දැක හුනස්නෙන් නැගිටිම් ද, අසුනෙන් පවරන්නෙම් ද, එබඳු කෙනෙකු දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි. බ්‍රාහ්මණය, තථාගත තෙමේ යමෙකුට වඳියි නම්, දැක හුනස්නෙන් නැගිටියි නම්, අසුනෙන් පවරයි නම්, ඔහුගේ හිස ගිලිහී වැටෙනු ඇත.”
1. “භවත් ගෞතමයෝ යහපත් පැවැත්මෙහි ඇති රස නොදන්නා අරසරූපයෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අරසරූපයෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, යම් ඒ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, රස රස, පහස රස ඇද්ද, ඒවා තථාගතයන්ට ප්‍රහීණ වී ඇත. මුලින් ම සිඳී ඇත. කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අරසරූපයෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
2. “භවත් ගෞතමයෝ හැමෝ ම එක් ව සමගි ව අනුභව නොකරන නිබ්භෝගයෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ නිබ්භෝගයෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, යම් ඒ රූප භෝග, ශබ්ද භෝග, ගන්ධ භෝග, රස භෝග, පහස භෝග ඇද්ද, ඒවා තථාගතයන්ට ප්‍රහීණ වී ඇත. මුලින් ම සිඳී ඇත. කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ නිබ්භෝගයෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
3. “භවත් ගෞතමයෝ කුල සිරිත් නොතකන අකිරියවාදියෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අකිරියවාදියෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, මම ත් නොකිරීමක් ගැන කියමි. එනම් කාය දුෂ්චරිතය ත්, වචී දුෂ්චරිතය ත්, මනෝ දුෂ්චරිතය ත් නොකිරීම යි. අනේක වූ පාපී අකුසල් දහම් නොකිරීම ගැන කියමි. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අකිරියවාදියෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
4. “භවත් ගෞතමයෝ පැවැත්ම නැසීම ගැන කියන උච්ඡේදවාදියෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ
උච්ඡේදවාදියෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, මම ත් උච්ඡේදයක් ගැන කියමි. එනම් රාගයේ ත්, ද්වේෂයේ ත්, මෝහයේ ත්, අනේක වූ පාපී අකුසල ධර්මයන්ගේ ත් සම්පූර්ණ විනාශය ගැන කියමි. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාදියෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
5. “භවත් ගෞතමයෝ කුල සිරිත් පිළිකුල් කරන ජේගුච්ඡියෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජේගුච්ඡියෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, මම ත් පිළිකුල් කිරීමක් කරමි. එනම් කාය දුෂ්චරිතය ත්, වචී දුෂ්චරිතය ත්, මනෝ දුෂ්චරිතය ත් පිළිකුල් කරමි. අනේක වූ පාපී අකුසල් දහම් ඇතිකර ගැනීම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජේගුච්ඡියෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
6. “භවත් ගෞතමයෝ කුල සිරිත් නසන වේනයිකයෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ වේනයිකයෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, මම ත් නැසීමක් ගැන දහම් දෙසමි. එනම් රාගය ත්, ද්වේෂය ත්, මෝහය ත් නැසීම පිණිස දහම් දෙසමි. අනේක වූ පාපී අකුසල් දහම් නැසීම පිණිස දහම් දෙසමි. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ වේනයිකයෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
7. “භවත් ගෞතමයෝ කුල සිරිත් නොදත් දිළිඳු තපස්සියෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සියෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, මම ත් කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතයෙන් යුතු පාපී අකුසල ධර්මයන් තැවිය යුතු යැයි කියමි. බ්‍රාහ්මණය, යමෙකුට තැවිය යුතු පාපී අකුසල් දහම් ඇද්ද, ඒවා ප්‍රහීණ වී ඇත්නම්, මුලින් ම සිඳී ඇත්නම්, කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්නම්, අභාවයට පත් වී ඇත්නම්, යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්නම්, මම ඔහුට තපස්සී යැයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන් හට තැවිය යුතු පාපී අකුසල් දහම් ප්‍රහීණ වී ඇත්තේ ය. මුලින් ම සිඳී ඇත්තේ ය. කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්තේ ය. අභාවයට පත් වී ඇත්තේ ය. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්තේ ය. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සියෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.”
8. “භවත් ගෞතමයෝ කුල සිරිත් නොකරන හෙයින් හීන කුලයක උපදින සුළු වූ අපගබ්භයෙක් නොවැ.”
“බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගබ්භයෙක් ය’ කියා කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, යමෙකුට නැවත මව්කුසක නිදන, පුනර්භවයක උපතක් ඇද්ද, එය ප්‍රහීණ වී ඇත්නම්, මුලින් ම සිඳී ඇත්නම්, කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්නම්, අභාවයට පත් වී ඇත්නම්, යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්නම්, මම ඔහුට අපගබ්භ යැයි කියමි. බ්‍රාහ්මණය තථාගතයන් හට මත්තෙහි මව්කුසක නිදන, පුනර්භවයෙහි ලබන උපත ප්‍රහීණ වී ඇත්තේ ය. මුලින් ම සිඳී ඇත්තේ ය. කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්තේ ය. අභාවයට පත් වී ඇත්තේ ය. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්තේ ය. බ්‍රාහ්මණය, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගබ්භයෙක් ය’ කියා කිව හැක්කේ ඔය ක්‍රමයට ය. යමක් අරභයා ඔබ පැවසුවේ නම් එය නොවෙයි.
බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. කිකිළියකට බිත්තර අටක් හෝ දහයක් හෝ දොළොසක් හෝ තිබෙයි. ඒ කිකිළිය විසින් බිජුවට මැනැවින් රකියි නම්, මැනැවින් උණුසුම් කරයි නම්, මැනැවින් අදාළ කරුණු කරයි නම්, ඒ කුකුළු පැටව් අතුරෙහි යමෙක් පළමුවෙන් තම පා නියතුඩින් හෝ මුවතුඩින් හෝ ඒ බිත්තර කටුව පළාගෙන සුවසේ නික්මෙයි ද, ඔහුට ජ්‍යෙෂ්ඨ යැයි කියා හෝ කණිෂ්ඨ යැයි කියා හෝ යන මෙයින් කුමක් කිව යුතු වන්නේ ද?”
“භවත් ගෞතමයෙනි, ඔහුට ජ්‍යෙෂ්ඨ යැයි කිව යුත්තේ ය. ඒ පිරිස අතර ඔහු ම ජ්‍යෙෂ්ඨයා ය.”
“එසෙයින් ම බ්‍රාහ්මණය, මම අවිද්‍යාවෙහි සිටින, අවිද්‍යාව නම් වූ බිත්තරයෙහි උපන් අවිද්‍යාවෙන් වෙළී ගිය සත්ව ප්‍රජාව අතුරෙහි අවිද්‍යාව නම් වූ බිත්තර කටුව පළාගෙන තනිව ම ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පත්වුණෙමි. බ්‍රාහ්මණය, මම වනාහී ලෝකයෙහි ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි.
බ්‍රාහ්මණය, මා විසින් පටන් ගත් වීරිය නොහැකිලී තිබුණේ ය. සිහිය මුළා නොවී එළඹ සිටියේ ය. කය පීඩා නැති ව සැහැල්ලුව තිබුණේ ය. සිත මැනැවින් තැන්පත් ව එකඟ ව තිබුණේ ය. බ්‍රාහ්මණය, ඒ මම කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි.
විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි.
ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසමි. කයෙන් සැපයක් ද විඳිමි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි.
සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි.
ඒ මම මෙසේ සමාධිමත් සිතින් පිරිසිදු වූ, බබලන, උපක්ලේශ රහිත වූ, මෘදු වූ, කර්මණ්‍ය වූ, ස්ථිර භාවයට පත් වූ, නොසැලෙන ස්වභාවයෙන් යුතුව මේ සිත පවතින කල්හී පෙර විසූ කඳ පිළිවෙල දකිනා නුවණ පිණිස සිත යොමු කළෙමි. ඒ මම නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරමි. එනම්, එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ පෙර විසූ කඳ පිළිවෙල නොයෙක් අයුරින් සිහි කරමි. බ්‍රාහ්මණය, රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි මා විසින් මේ පළමු විද්‍යාව ලබන ලද්දේ ය. අවිද්‍යාව නසන ලද්දේ ය. විද්‍යාව උපන්නේ ය. අවිද්‍යා අන්ධකාරය පහ ව ගියේ ය. ආලෝකය උපන්නේ ය. අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන යමෙකුට යමක් ලැබෙයි නම්, එය එසේ විය.
බ්‍රාහ්මණය, බිජුවටින් මෝරා එන කුකුල් පැටවෙකුගේ උපත පරිද්දෙන් මාගේ ද අවිද්‍යා බිජුවටින් සිඳ බිඳ එන මේ පළමු උපත සිදුවිය.
ඒ මම මෙසේ සමාධිමත් සිතින් පිරිසිදු වූ, බබලන, උපක්ලේශ රහිත වූ, මෘදු වූ, කර්මණ්‍ය වූ, ස්ථිර භාවයට පත් වූ, නොසැලෙන ස්වභාවයෙන් යුතුව මේ සිත පවතින කල්හී සත්වයන්ගේ චුතිය – උපත දකිනා නුවණ පිණිස සිත යොමු කළෙමි. ඒ මම මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් චුත වෙන උපදින සතුන් දකිමි. හීන වූ ත්, උසස් වූ ත්, වර්ණවත් වූ ත්, විරූපී වූ ත්, සුගතියෙහි ත්, දුගතියෙහි ත් කර්මානුරූප ව උපදින සතුන් දකිමි. ….(පෙ)…. බ්‍රාහ්මණය, රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි මා විසින් මේ දෙවෙනි විද්‍යාව ලබන ලද්දේ ය. අවිද්‍යාව නසන ලද්දේ ය. විද්‍යාව උපන්නේ ය. අවිද්‍යා අන්ධකාරය පහ ව ගියේ ය. ආලෝකය උපන්නේ ය. අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන යමෙකුට යමක් ලැබෙයි නම්, එය එසේ විය.
බ්‍රාහ්මණය, බිජුවටින් මෝරා එන කුකුල් පැටවෙකුගේ උපත පරිද්දෙන් මාගේ ද අවිද්‍යා බිජුවටින් සිඳ බිඳ එන මේ දෙවෙනි උපත සිදුවිය.
ඒ මම මෙසේ සමාධිමත් සිතින් පිරිසිදු වූ, බබලන, උපක්ලේශ රහිත වූ, මෘදු වූ, කර්මණ්‍ය වූ, ස්ථිර භාවයට පත් වූ, නොසැලෙන ස්වභාවයෙන් යුතුව මේ සිත පවතින කල්හී ආශ්‍රවයන් ක්ෂය වීමේ නුවණ පිණිස සිත යොමු කළෙමි. ඒ මම මෙය දුකැයි ඒ අයුරින් ම අවබෝධ කළෙමි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ අයුරින් ම අවබෝධ කළෙමි. මේ දුකෙහි නිරෝධය යැයි ඒ අයුරින්ම අවබෝධ කළෙමි. මේ දුක් නිරුද්ධ වන ප්‍රතිපදාව යැයි ඒ අයුරින්ම අවබෝධ කළෙමි. මේ ආශ්‍රවයන් යැයි ඒ අයුරින් ම අවබෝධ කළෙමි. මේ ආශ්‍රවයන්ගේ හටගැනීම යැයි ඒ අයුරින් ම අවබෝධ කළෙමි. මේ ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම යැයි ඒ අයුරින් ම අවබෝධ කළෙමි. මේ ආශ්‍රවයන් නිරුද්ධ වන ප්‍රතිපදාව යැයි ඒ අයුරින් ම අවබෝධ කළෙමි.
මෙසේ දන්නා වූ, මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙනුත් නිදහස් වූයේ ය. භවාශ්‍රවයෙනුත් නිදහස් වූයේ ය. අවිද්‍යා ආශ්‍රවයෙනුත් නිදහස් වූයේ ය. නිදහස් වූ කල්හී නිදහස් වුණෙමි යි ඥානය ඇතිවූයේ ය. ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිම වන ලදී. කළ යුත්ත කරන ලදී. මත්තෙහි මේ වෙනුවෙන් කළ යුතු කිසිවක් නැතැයි අවබෝධ වූයේ ය.
බ්‍රාහ්මණය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මා විසින් තෙවෙනි විද්‍යාව ලබන ලද්දේ ය. අවිද්‍යාව නසන ලද්දේ ය. විද්‍යාව උපන්නේ ය. අවිද්‍යා අන්ධකාරය පහ ව ගියේ ය. ආලෝකය උපන්නේ ය. අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන යමෙකුට යමක් ලැබෙයි නම්, එය එසේ විය.
බ්‍රාහ්මණය, බිජුවටින් මෝරා එන කුකුල් පැටවෙකුගේ උපත පරිද්දෙන් මාගේ ද අවිද්‍යා බිජුවටින් සිඳ බිඳ එන මේ තෙවෙනි උපත සිදුවිය.
මෙසේ වදාළ කල්හී වේරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්සේ ජ්‍යෙෂ්ඨ වන සේක. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස
පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
වේරඤ්ජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M