සැවැත් නුවර දී ය …..
මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන මේ කරුණු සත ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙයි. ඒ කවර කරුණු සතක් ද යත්;
1. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු විරූපී වන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ සිරුරු පැහැයෙන් සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. ඔහු හොඳින් ස්නානය කොට තෙල් ගා මැනවින් අන්දම් තබා හිස පීරා මනා සුදු වතින් සැරසී සිටිය ද, ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු විරූපියෙක් ම වෙයි. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ පළමු කරුණ යි.
2. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු දුක සේ නිදන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ සැප නින්දට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. ඔහු වටිනා පළස් අතුරා, මොළොක් සුදු එළුලොම් අතුරා, මැනැවින් පුළුන් පිරවූ මෙට්ට සකසා, කදලි මෘගයන්ගේ සමින් අතුරා, උඩු වියන් සහිත වූ, රත් පැහැ ගත් විල්ලුද කොට්ට දෙපසට තැබූ යහනක සැතපෙන්නේ නමුත් ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු දුක සේ ම සැතපෙයි. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ දෙවෙනි කරුණ යි.
3. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු දියුණුවට හේතුවන කරුණු නොගන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ දියුණුවට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. ඔහු දියුණුවට හේතු නොවූ ක්‍රෝධය ගෙන මා විසින් දියුණුවට හේතු වූ කරුණක් ගන්නා ලදැයි හඟියි. දියුණුවට හේතු වූ ක්‍රෝධ නොකිරීම ගෙන මා විසින් දියුණුවට හේතු නොවූ කරුණක් ගන්නා ලදැයි හඟියි. මෙසේ ක්‍රෝධයෙන් පීඩිත ඔහු විසින් පටලවා ගත් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්මයෝ බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස හේතු වන්නාහ. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ තෙවෙනි කරුණ යි.
4. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු භෝග සම්පත් නොලබන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ භෝග සම්පත් වලට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. ක්‍රෝධයෙන් පීඩිත ඔහුට නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසා, ඩහදිය වගුරුවා, ධාර්මික ව, දැහැමින් ලද යම් භෝග සම්පත් ඇත්නම්, ඒවා ත් රජවරු හෝ රාජ භාණ්ඩාගාරයට රැගෙන යති. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ සිව්වෙනි කරුණ යි.
5. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු කීර්තිය සහිත පරිවාර සම්පත් නොලබන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ කීර්තිය සහිත පරිවාර සම්පත්තියට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. අප්‍රමාදය හේතුවෙන් තමා වටා කීර්තිය දෙන ස්වල්ප වූ පිරිසක් සිටියේ ක්‍රෝධයෙන් පීඩිත ඔහු ඒ පිරිසෙනුත් පිරිහී යයි. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ පස්වෙනි කරුණ යි.
6. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු මිතුරන් ඇත්තෙක් නොවන්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුට මිතුරන් ඇතිවීම ගැන සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. ඔහුට යම් මිත්‍රයෝ, සග යහළුවෝ, ලේ ඥාතීහු සිටිත් ද, ඔවුනුත් ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු දුරින් ම දුරු කරති. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ සයවෙනි කරුණ යි.
7. මහණෙනි, මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මොහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නම් මැනැවි’ යි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ සුගතියෙහි ඉපදීම සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂ පුද්ගලයා වනාහී ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙළී ගිය සිත් ඇත්තේ වෙයි. ක්‍රෝධයෙන් පීඩිත ඔහු කයෙන් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. ඔහු කයෙන් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදියි. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ සත්වෙනි කරුණ යි.
මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන මේ කරුණු සත ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙයි.
(ගාථා)
1. ක්‍රෝධ කරන්නා විරූපී වෙයි. එමෙන් ම දුක සේ නිදයි. එමෙන් ම අර්ථය ගෙන අනර්ථය ගත්තේ යැයි වැරදි ලෙස සිතයි.
2. එමෙන් ම ක්‍රෝධ කරන්නා කයෙන්, වචනයෙන් හිංසා කොට ක්‍රෝධයෙන් පීඩිත ව ධනය වනසා ගන්නේ ය.
3. ක්‍රෝධ මදයෙන් දරුණු ලෙස මත් වූයේ, නින්දාවට බඳුන් වෙයි. ඒ ක්‍රෝධ කරන්නා ව නෑ හිතමිතුරු සහෘදයෝ අත්හැර දමති.
4. ක්‍රෝධය යනු අනර්ථය උපදවන දෙයකි. ක්‍රෝධය යනු සිත ප්‍රකෝප කරන දෙයකි. ඒ ක්‍රෝධය නම් වූ බියජනක කරුණ තම සිත තුළ උපදියි. එහෙත් ජනයා එය තේරුම් නොගනියි.
5. කිපෙන්නා යහපත නොදනියි. කිපෙන්නා ධර්මය නොදකියි. යම් ක්‍රෝධයක් මිනිසෙකු මැඩගෙන යයි ද, එකල්හී ඔහු අඳුරට පිවිසි අන්ධයෙක් වැනි ය.
6. ක්‍රෝධය තමා තුළට පහසුවෙන් සේ පැමිණ ඉතා දුෂ්කරත්වයට පත් කරයි. පසුව ක්‍රෝධය නැති වී ගිය කල්හී ගින්නෙන් දැවුණු තැනැත්තකු සේ ශෝකයට පත්වෙයි.
7. යම් කලක ක්‍රෝධය උපදියි ද, යම් ක්‍රෝධයකින් මිනිස්සු කිපෙත් ද, ගිනි අළුවෙන් නැගෙන ගින්න සහ දුම මෙන් ඒ පුද්ගලයා ව නිවට බවට පත් කරයි.
8. ඔහුට පවට ඇති ලැජ්ජාව නැති වෙයි. පවට ඇති භය නැතිවෙයි. ගෞරව වචන නැතිවෙයි. ක්‍රෝධයෙන් මැඩුණු තැනැත්තා හට කිසි පිළිසරණක් නැත.
9. ධර්මයෙන් දුරු වූ, පසුතැවීමට කරුණු වූ යම් කර්මයන් ඇද්ද, ඒ පිළිබඳ ව පවසන්නෙමි. ඒ වූ පරිදි එය අසව්.
10. කිපුණු තැනැත්තා ම පියා ව නසයි. කිපුණු තැනැත්තා මව නසයි. කිපුණු තැනැත්තා රහතුන් නසයි. කිපුණු තැනැත්තා පෘථග්ජනයා නසයි.
11. යම් මෑණි කෙනෙකුන් විසින් පෝෂණය කරන ලද දරු තෙමේ මේ ලොව දකියි ද, කිපුණා වූ ඒ පෘථග්ජනයා තමාට ප්‍රාණය දුන් ඇය ද නසයි.
12. ඒ සත්වයෝ තමා උපමා කළ යුත්තාහු ය. තමාට පරම ප්‍රියයා තමා ම ය. නා නා ස්වභාවයෙන් මුසපත් වී ගිය කිපුණු තැනැත්තා බොහෝ කරුණින් තමා ව වනසයි.
13. එසේ මුසපත් වූවෝ තමා ව කඩුවෙනුත් වනසා ගනිති. විෂ අනුභව කරති. රැහැන් පටින් ගෙළ වැළ ලා මිය යති. පර්වත දියඇලි අතරින් පැන මැරෙති.
14. දියුණුව නැසීමට කරුණු වූ සිය දිවි හානි කරගැනීමක් ඇද්ද, ක්‍රෝධය හටගත් සිත් ඇති ඔවුහු එය පිරිහීමට කරුණක් බව අවබෝධ නොකරති.
15. මෙසේ මේ ක්‍රෝධ ස්වරූපයෙන් පැමිණෙන මාරයාගේ මලපුඩුව සිත නැමැති ගුහාවේ ඇත්තේ ය. ආත්ම දමනයෙන් යුතු, ප්‍රඥාවෙන් හා වීරියෙන් යුතු, සම්මා දිට්ඨියෙන් යුතු තැනැත්තා එය මුලින් ම සිඳලයි.
16. නුවණැත්තා මේ ක්‍රෝධය නම් වූ එක ම අකුසලය වනසන්නේ ය. එසෙයින් ම ‘අපට ද නිවට බව ඇති නොවේවා’ යි මෙත් සිත වැඩීම නම් වූ ධර්මයෙහි හික්මෙන්නේ ය.
17. ක්‍රෝධය දුරු වූ, පීඩා රහිත වූ, මෝහය දුරු වූ, දුසිරිතෙහි උත්සාහ නැති වූ, දමනය වූ තැනැත්තෝ ක්‍රෝධය ප්‍රහාණය කොට ආශ්‍රව රහිත ව පිරිනිවී යති.
සාදු! සාදු!! සාදු!!!
කෝධන සූත්‍රය නිමා විය.
පළමුවෙනි අබ්‍යාකත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අබ්‍යාකත සූත්‍රය, පුරුසගති සූත්‍රය, තිස්සබ්‍රහ්ම සූත්‍රය, සීහසේනාපති සූත්‍රය, අරක්ඛෙය්‍ය සූත්‍රය, කිම්බිල සූත්‍රය, සත්තධම්ම සූත්‍රය, පචලායන සූත්‍රය, මා පුඤ්ඤභායී සූත්‍රය, සත්තභරියා සූත්‍රය සහ කෝධන සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර එකොළොසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M