සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ රාත්රියෙහි එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු මහත් දෙව්රම බබුළුවාගෙන මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය. මහණෙනි, එකත්පස් ව සිටි ඒ දෙවියා මා හට මෙය පැවසුවේ ය.
‘ස්වාමීනී, භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ ධර්මයෝ සතක් පවතින්නාහ. ඒ කවර සතක් ද යත්;
ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව ය. ධර්මය කෙරෙහි ගෞරව ඇති බව ය. සංඝයා කෙරෙහි ගෞරව ඇති බව ය. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති බව ය. සමාධිය කෙරෙහි ගෞරව ඇති බව ය. කීකරුකම ඇති බව ය. කලණ මිතුරන් ඇති බව ය.
ස්වාමීනී, මේ සප්ත ධර්මයෝ වනාහී භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින්නාහ.’
මහණෙනි, ඒ දෙවියා මෙය පැවසුවේ ය. මෙය පවසා මා හට සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
(ගාථා)
1. ශාස්තෘ කෙරෙහි ගෞරව ඇත්තේ, ධර්මයට ගෞරව ඇත්තේ, සංඝයාට බලවත් ගෞරව ඇත්තේ, සමාධි ගෞරව ඇත්තේ, කෙලෙස් තවන වීරියෙන් යුතුව ශික්ෂාව කෙරෙහි බලවත් ගෞරව ඇත්තේ,
2. කලණ මිතුරන් ඇත්තේ, කීකරුකමින් යුක්ත වූයේ, යටහත් පැවතුම් ඇත්තේ, ගෞරව ඇත්තේ, එබඳු වූ භික්ෂුව පිරිහීමට නුදුසුස්සෙකි. නිවන සමීපයෙහි සිටියේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම සෝවචස්සතා සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M