එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සාමගාමකයෙහි පොක්ඛරණියා නම් වෙහෙරෙහි වැඩවසන සේක. එකල්හී එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනහර වර්ණයෙන් යුතුව මුළු පොක්ඛරණියා වෙහෙර ම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, මේ කරුණු තුන භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු තුනක් ද යත්; බාහිර වැඩකටයුතුවලට ඇලී සිටීම ය. කතාවට ඇලී සිටීම ය. නින්දට ඇලී සිටීම ය. ස්වාමීනී, මේ වනාහී භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතින කරුණු තුන යි.”
ඒ දෙවියා මෙය පැවසුවේ ය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළ සේක. ඉක්බිති ඒ දෙවි තෙමේ ශාස්තෘන් වහන්සේ මාගේ වචනය අනුමත කළ සේකැයි භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මේ රැයෙහි එක්තරා දෙවියෙක් මනහර වර්ණයෙන් යුතුව මුළු පොක්ඛරණියා වෙහෙර ම බබුළුවාගෙන මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි ඒ දෙවියා මට මෙය සැළ කළේ ය.
‘ස්වාමීනී, මේ කරුණු තුන භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු තුනක් ද යත්; බාහිර වැඩකටයුතුවලට ඇලී සිටීම ය. කතාවට ඇලී සිටීම ය. නින්දට ඇලී සිටීම ය. ස්වාමීනී, මේ වනාහී භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතින කරුණු තුන යි.’
මහණෙනි, ඒ දෙවියා මෙය පැවසුවේ ය. මෙය පවසා මා හට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
මහණෙනි, යම් බඳු ඔබ කුසල් දහම් වලින් පිරිහීමට පත්වෙන බව දෙවියෝ පවා දනිත් නම් එය ඔබට අලාභයකි. එය ඔබට නොමනා ලැබීමකි. මහණෙනි, අන්‍ය වූ පිරිහෙන කරුණු තුනකුත් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
“එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පිරිහීම ඇති කරවන තුන් කරුණ මොනවා ද? පිරිස් සමඟ ඇලී වාසය කිරීම ය. අකීකරුකම ය. පවිටු මිතුරන් ඇසුර ය. මහණෙනි, මේ වනාහී පිරිහීම ඇති කරවන තුන් කරුණ යි.
මහණෙනි, යම් කිසිවෙක් අතීත කාලයෙහි කුසල් දහම්වලින් පිරිහී ගියාහු ද, ඒ සියල්ලෝ ම මේ සය කරුණ හේතුවෙන් කුසල් දහම්වලින් පිරිහී ගියාහු ය. මහණෙනි, යම් කිසිවෙක් අනාගත කාලයෙහි කුසල් දහම්වලින් පිරිහී යන්නාහු ද, ඒ සියල්ලෝ ම මේ සය කරුණ හේතුවෙන් කුසල් දහම්වලින් පිරිහී යන්නාහු ය. මහණෙනි, යම් කිසිවෙක් මේ කාලයෙහි කුසල් දහම්වලින් පිරිහී යත් ද, ඒ සියල්ලෝ ම මේ සය කරුණ හේතුවෙන් කුසල් දහම්වලින් පිරිහී යති.”
සාදු! සාදු!! සාදු!!!
සාමගාමක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M