සැවැත් නුවර දී ය …..
මහණෙනි, කරුණු පසකින් සමන්විත වූ ඔටුණු පළන් ක්ෂත්‍රීය රජු යම් යම් දිශාවක වාසය කරයි නම් තමන්ගේ විජිතයෙහි ම වාසය කරන්නේ ය. ඒ කවර පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා ඔටුණු පළන් ක්ෂත්‍රීය රජු මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන උභය පාර්ශවයෙන් ම සුජාත උපතක් ලැබුවේ වෙයි. පිරිසිදු මව් කුසකින් උපන්නේ වෙයි. සත්වෙනි මී මුතු පරම්පරාව තෙක් ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේ උපක්‍රෝශ නොකරන ලද්දේ වෙයි.
ආඪ්‍ය වූයේ මහත් ධන ඇත්තේ මහත් භෝග ඇත්තේ පිරී ගිය ධාන්‍යා ගාර ඇත්තේ පිරී ගිය භාණ්ඩාගාර ඇත්තේ වෙයි.
බලවත් වූයේ වෙයි. කීකරු වූයේ තමන්ගේ අවවාදයට අනුව කටයුතු කරන්නා වූ සිව්රඟ සේනාවෙන් යුක්ත වූයේ වෙයි.
ඔහුගේ පුත්‍රයා වනාහී නුවණැත්තෙක් වෙයි. ව්‍යක්ත වෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙයි. අතීතානාගත වර්තමාන අරුත් සිතීමට ප්‍රතිබල වෙයි. ඒ රජු හට මේ කරුණු සතරින් යස පිරිවර වැඩෙයි.
හේ මේ පස්වෙනි යස පිරිවර නම් වූ කරුණින් යුක්ත වූයේ යම් යම් දිශාවක වාසය කරයි නම් තමන්ගේ ම විජිතයෙහි ම වාසය කරයි. මක්නිසාද යත්, මහණෙනි, දිනූ තැනැත්තාට එය එසේ ම වන්නේ ය.
එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව යම් යම් දිශාවක වාසය කරයි ද, විමුක්ති සිතින් ම වාසය කරයි. ඒ කවර පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. සුජාත උපතක් ලද ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙකු සේ ය.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. ආඪ්‍ය වූ මහා ධන ඇති මහා භෝග ඇති පිරිපුන් ධාන්‍යාගාර, භාණ්ඩාගාර ඇති ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙකු සෙයිනි.
අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. බලසම්පන්න වූ ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙකු සෙයිනි.
ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. පුත්‍ර රත්නයෙන් යුතු ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙකු සෙයිනි.
ඒ භික්ෂුවට මේ කරුණු සතර විමුක්තිය මුහුකුරවා දෙයි. හේ පස්වෙනි වූ විමුක්තිය නම් වූ ධර්මයෙන් යුක්ත වූයේ යම් යම් දිශාවක වාසය කරයි නම් විමුක්ති සිතින් ම වාසය කරයි. මක් නිසාද යත්, මහණෙනි, විමුක්තියට පත් සිත් ඇත්තහුට එය එසේ ම වන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ඛත්තියරාජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M