සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව අරණ්‍ය, වනපෙත්, දුර ඈත ගැඹුරු වන සෙනසුන් ඇසුරු කරන්නට සුදුසු වූයේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ….(පෙ)…. එබඳු වූ ධර්මයෝ ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය පිණිස ත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිස ත් දැඩි වූ ත්, දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූ ත්, කුසල් දහම්හි නොපසුබස්නා වීරියෙන් යුක්ත වූයේ ත් වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී ලැබෙන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. බොහෝ සේ ලබන්නේ වෙයි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව අරණ්‍ය, වනපෙත්, දුර ඈත ගැඹුර වන සෙනසුන් ඇසුරු කරන්නට සුදුසු වූයේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අරඤ්ඤ සූත්‍රය නිමා විය.
පළමුවෙනි ඵාසුවිහාර වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
වේසාරජ්ජ සූත්‍රය, සංකිත සූත්‍රය, මහාචෝර සූත්‍රය, සමණ සුඛුමාල සූත්‍රය, ඵාසුවිහාර සූත්‍රය, ආනන්ද සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, අසේඛ සූත්‍රය, චාතුද්දිස සූත්‍රය සහ අරඤ්ඤ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M