සැවැත් නුවර දී ය……
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ‘ධම්මවිහාරී, ධම්මවිහාරී’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, භික්ෂුවක් ධම්මවිහාරී යැයි කිව යුතු වන්නේ කවර කරුණු මත ද?”
“භික්ෂුව, මෙහිලා භික්ෂුවක් ධර්මය ඉගෙන ගනියි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යනුවෙනි. හේ ධර්ම අධ්‍යයනයෙන් දවස ගෙවයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධියෙහි නොයෙදෙයි. භික්ෂුව, මේ භික්ෂුව පරියාප්ති බහුලයෙක් යැයි කියනු ලැබේ. ධම්මවිහාරී නොවෙයි.
තව ද භික්ෂුව, භික්ෂුවක් ඇසූ පරිදි, ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන්‍යයන් හට දේශනා කරයි. හේ ඒ ධර්මය හඳුන්වාදීමෙන් දවස ගෙවයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධියෙහි නොයෙදෙයි. භික්ෂුව, මේ භික්ෂුව සඤ්ඤප්ති බහුලයෙක් යැයි කියනු ලැබේ. ධම්මවිහාරී නොවෙයි.
තව ද භික්ෂුව, භික්ෂුවක් ඇසූ පරිදි, ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. හේ ඒ ධර්මය සජ්ඣායනාවෙන් දවස ගෙවයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධියෙහි නොයෙදෙයි. භික්ෂුව, මේ භික්ෂුව සජ්ඣාය බහුලයෙක් යැයි කියනු ලැබේ. ධම්මවිහාරී නොවෙයි.
තව ද භික්ෂුව, භික්ෂුවක් ඇසූ පරිදි, ඉගෙන ගත් පරිදි ධර්මය සිතින් අනුවිතර්ක කරයි. නැවත නැවත විචාරා බලයි. මනසින් විමසා බලයි. හේ ඒ ධර්ම විතර්කයෙන් දවස ගෙවයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධියෙහි නොයෙදෙයි. භික්ෂුව, මේ භික්ෂුව විතර්ක බහුලයෙක් යැයි කියනු ලැබේ. ධම්මවිහාරී නොවෙයි.
භික්ෂුව, මෙහිලා භික්ෂුවක් ධර්මය ඉගෙන ගනියි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යනුවෙනි. හේ ධර්ම අධ්‍යයනයෙන් දවස නොගෙවයි. භාවනාව අත් නොහරියි. තමා තුළ චිත්ත සමාධියෙහි යෙදෙයි. භික්ෂුව, මෙසේ භික්ෂුව ධම්මවිහාරී වෙයි.
භික්ෂුව, මේ අයුරින් මා විසින් පරියාප්ති බහුලයා ගැන දෙසන ලද්දේ ය. සඤ්ඤප්ති බහුලයා ගැන දෙසන ලද්දේ ය. සජ්ඣාය බහුලයා ගැන දෙසන ලද්දේ ය. විතර්ක බහුලයා ගැන දෙසන ලද්දේ ය. ධම්මවිහාරී භික්ෂුව ගැන දෙසන ලද්දේ ය.
භික්ෂුව, ශ්‍රාවකයන් හට හිතෛෂී වූ අනුකම්පාවෙන් යුතු වූ ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුත්තේ ද, එය මා විසින් ඔබට කරන ලද්දේ ය. භික්ෂුව, ඔය රුක් සෙවණ ඇත. ඔය හිස් කුටි ඇත. භික්ෂුව, දැහැන් වඩව්. ප්‍රමාදයට පත් නොවෙව්. පසු ව පසුතැවිල්ලට පත් නොවෙව්. මෙය අපගේ අනුශාසනාව යි.”
සාදු! සාදු!! සාදු!!!
පඨම ධම්මවිහාරී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M