අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.3.1. පඨම චේතෝවිමුත්තිඵල සුත්තං

5.2.3.1. චේතෝ විමුක්ති ඵලය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරගත් විට, බහුල වශයෙන් ප්‍රගුණ කරගත් විට චේතෝ විමුක්ති ඵලය ද ලැබෙන්නේ, චේතෝ විමුක්ති ඵලය ද අනුසස් කොට ඇත්තේ වෙයි. ප්‍රඥා විමුක්ති ඵලය ද ලැබෙන්නේ, ප්‍රඥා විමුක්ති ඵලය ද අනුසස් කොට ඇත්තේ වෙයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව (1). කය පිළිබඳ ව අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරයි. (2). ආහාරයෙහි පිළිකුල් සංඥාවෙන් යුක්ත ව, (3). සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාවෙන් යුක්ත ව, (4). සියළු සංස්කාරයන් හි අනිත්‍ය නුවණින් දකිමින්, (5). මරණ සංඥාව තමා තුළ මැනැවින් පිහිටුවා ගෙන සිටින්නේ වෙයි.

මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මයන් දියුණු කරගත් විට, බහුල වශයෙන් ප්‍රගුණ කරගත් විට චේතෝ විමුක්ති ඵලය ද ලැබෙන්නේ, චේතෝ විමුක්ති ඵලය ද අනුසස් කොට ඇත්තේ වෙයි. ප්‍රඥා විමුක්ති ඵලය ද ලැබෙන්නේ, ප්‍රඥා විමුක්ති ඵලය ද අනුසස් කොට ඇත්තේ වෙයි.

මහණෙනි, යම් කලක භික්ෂුව චේතෝ විමුක්තියෙන් හා ප්‍රඥා විමුක්තියෙන් යුක්ත වෙයි ද, මහණෙනි, මේ භික්ෂුව ‘උක්ඛිත්තපළිඝ’ හෙවත් අවිද්‍යාව නමැති බාධාව ඔසොවා බැහැර කළේ යැයි කියනු ලැබේ. ‘සංකිණ්ණ පරිඛ’ හෙවත් සසර වට අගල සිඳ බිඳ වැනසුවේ යැයි කියනු ලැබේ. ‘අබ්බූල්හේසික’ හෙවත් තෘෂ්ණාව නමති ඒෂිකා ස්ථම්භය උදුරා සිඳ දැම්මේ යැයි කියනු ලැබේ. ‘නිරග්ගල’ හෙවත් අගුල විවර කළේ යැයි කියනු ලැබේ. ‘ආර්ය පන්නධජ පන්නභාර’ හෙවත් මාන නමැති කොඩිය බිඳ හෙලූ කෙලෙස් බර බැහැර කළ ශ්‍රේෂ්ඨයා යැයි කියනු ලැබේ. ‘විසංයුත්ත’ හෙවත් සසරෙන් වෙන් වූයේ යැයි කියනු ලැබේ.

මහණෙනි, භික්ෂුව ‘උක්ඛිත්තපළිඝ’ හෙවත් අවිද්‍යාව නමැති බාධාව ඔසොවා බැහැර කළේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ අවිද්‍යාව ප්‍රහීණ වූයේ ය. මුලින් ම සිඳී ගියේ ය. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වූයේ ය. අභාවයට පත්වූයේ ය. නැවත නූපදින ස්වභාවයට පත්වූයේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ‘උක්ඛිත්තපළිඝ’ නම් වෙයි.

මහණෙනි, භික්ෂුව ‘සංකිණ්ණ පරිඛ’ හෙවත් සසර වට අගල සිඳ බිඳ වැනසුවේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ පුනර්භවය ඇතිවෙන ඉපදෙන සසර ප්‍රහීණ වූයේ ය. ….(පෙ)…. මහණෙනි, මෙසේ භික්ෂුව ‘සංකිණ්ණ පරිඛ’ නම් වෙයි.

මහණෙනි, භික්ෂුව ‘අබ්බූළ්හේසික’ හෙවත් තෘෂ්ණාව නමති ඒෂිකා ස්ථම්භය උදුරා සිඳ දැම්මේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ තෘෂ්ණාව ප්‍රහීණ වූයේ ය. මුලින් ම සිඳී ගියේ ය. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වූයේ ය. අභාවයට පත්වූයේ ය. නැවත නූපදින ස්වභාවයට පත්වූයේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ‘අබ්බූළ්හේසික’ නම් වෙයි.

මහණෙනි, භික්ෂුව ‘නිරග්ගල’ හෙවත් අගුල විවර කළේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහීණ වූයේ ය. මුලින් ම සිඳී ගියේ ය. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වූයේ ය. අභාවයට පත්වූයේ ය. නැවත නූපදින ස්වභාවයට පත්වූයේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ‘නිරග්ගල’ නම් වෙයි.

මහණෙනි, භික්ෂුව ආර්ය වූයේ ත්, පන්නධජ වූයේ ත්, පන්නභාර වූයේ ත්, විසංයුත්ත වූයේ ත් කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ අස්මිමානය ප්‍රහීණ වූයේ ය. මුලින් ම සිඳී ගියේ ය. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වූයේ ය. අභාවයට පත්වූයේ ය. නැවත නූපදින ස්වභාවයට පත්වූයේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ආර්ය වූයේ, පන්නධජ වූයේ, පන්නභාර වූයේ, විසංයුත්ත වූයේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම චේතෝවිමුත්තිඵල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M