අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.4.10. මහාසාල සුත්තං

5.1.4.10. මහා වෘක්ෂය උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, හිමාල පර්වතරාජයා ඇසුරු කොට ගත් මහා වෘක්ෂයෝ අභිවෘද්ධීන් පසකින් වැඩී යති. ඒ කවර පසකින් ද යත්;

අතු කොළ දළුවෙන් වැඩී යති. සිවියෙන් වැඩී යති. පොත්තෙන් වැඩී යති. එළයෙන් වැඩී යති. අරටුවෙන් වැඩී යති. මහණෙනි, හිමාල පර්වතරාජයා ඇසුරු කොට ගත් මහා වෘක්ෂයෝ මේ අභිවෘද්ධීන් පසින් වැඩී යති.

එසෙයින් ම මහණෙනි, සැදැහැවත් කුලපුත්‍රයා ඇසුරු කොටගත් ඇතුළු ජනයා අභිවෘද්ධීන් පසකින් වැඩී යති. ඒ කවර පසකින් ද යත්;

ශ්‍රද්ධාවෙන් වැඩෙයි. සීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැවත් කුලපුත්‍රයා ඇසුරු කොටගත් ඇතුළු ජනයා මේ අභිවෘද්ධීන් පසින් වැඩී යති.

(ගාථා)

1. ගැඹුරු වනයෙහි සුවිශාල ගල් පර්වතයක් තිබෙන්නේ වෙයි ද, එය ඇසුරු කොට ඒ වනස්පති මහා වෘක්ෂයෝ යම් සේ වැඩී යත් ද,

2. එසෙයින් ම මෙලොවෙහි සීල සම්පන්න වූ සැදැහැවත් කුලපුත්‍රයා ඇසුරු කොට ගෙන අඹුදරුවෝ ද, ඥාතීහු ද, අමාත්‍යයෝ ද, නෑ සමූහයා ද, ඔවුන් අනුව දිවි ගෙවන්නෝ වෙත් ද, ඔවුහු වැඩෙති.

3. එහි යම් නුවණැත්තෝ සිටිත් නම් ඔවුහු ද, සිල්වත් වූ ඔහුගේ සීලය, ත්‍යාගය, සුචරිතාදිය දැක ඒවා අනුකරණය කරති.

4. මෙහි සුගතියට මාර්ගය වූ ඒ සුචරිත ධර්මයෙහි හැසිර තමා කැමති පංච කාම සැපය දෙව්ලොව දී ලබමින් සතුටු වෙමින් ප්‍රීතියට පත්වෙති.

සාදු! සාදු!! සාදු!!!

මහාසාල සූත්‍රය නිමා විය.

සිව්වෙනි සුමනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

සුමනා සූත්‍රය, චුන්දී සූත්‍රය, උග්ගහ සූත්‍රය, සීහ සූත්‍රය, දානානිසංස සූත්‍රය, කාලදාන සූත්‍රය, භෝජන සූත්‍රය, සද්ධා සූත්‍රය, පුත්ත සූත්‍රය සහ මහාසාල සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M