මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිමින් මහත් වූ භික්ෂු සංඝයා සමඟ ඉච්ඡානංගල නම් වූ කෝසලවාසී බ්‍රාහ්මණ ගමකට වැඩම කළ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩවසන සේක.
ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු මෙකරුණ ඇසූහ. ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගලයට වැඩම කොට ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩ වාසය කරති’ යි.
ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැන නැංගේ ය. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. උන්වහන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරන ලද ධර්මය දේශනා කරන සේක.
උන්වහන්සේ ධර්ම දේශනා කරන සේක. මුල කල්‍යාණ වූ ත්, මැද කල්‍යාණ වූ ත්, අවසානය කල්‍යාණ වූ ත්, අර්ථ සහිත වූ ත්, පැහැදිලි ප්‍රකාශන සහිත වූ ත් මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසන සේක. එබඳු වූ රහතුන්ගේ දැක්ම පවා ඉතා යහපත් ය’ යනුවෙනි.
ඉක්බිති ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණගෘහපතීහු ඒ රාත්‍රිය ඇවෑමෙන් ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන ඉච්ඡානංගල වන ලැහැබ යම් තැනක ඇත්තේ ද, එතැනට පැමිණියහ. පැමිණ දොරටුවෙන් බැහැර කොටසෙහි උස් හඬ ඇති ව, මහා ඝෝෂා ඇති ව සිටියාහු ය.
එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූ සේක.
“නාගිතයෙනි, ඒ උස් හඬින් කෑ ගසන්නෝ, මහා හඬින් කෑ ගසන්නෝ කවරහු ද? මසුන් මරා විකුණන තැන සිටින කෙවුලන් බඳු නොවැ.”
“ස්වාමීනී, මේ ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ ද, භික්ෂු සංඝයා ද උදෙසා බොහෝ ඛාද්‍ය භෝජ්‍ය ගෙනවුත් බාහිර දොරටු කොටුවෙහි සිටියාහු ය.”
“නාගිතයෙනි, පිරිවර හා සමඟ මම එක් නොවෙම්වා! පිරිවර ද මා සමඟ එක් නොවේවා! නාගිතයෙනි, මම් යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලද සැපයක්, සංසිඳීමෙන් ලද සැපයක්, සම්බෝධි සැපයක්, කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, බොහෝ සෙයින් ලබන්නෙම් ද, එසේ මා ලබන මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය යම් කෙනෙකුට කැමති සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, බොහෝ සෙයින් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නිද්‍රා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට මෙය ඉවසන්නට කාලය යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැන් යම් යම් දිශාවකට වඩිනා සේක් ද, ඒ ඒ දිශාවට බ්‍රාහ්මණගෘහපතීහු නිගම ජනපදවාසීහු නැඹුරු වී සිටිත් ම ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. මහත් දිය බිඳු සහිත ව වැස්ස වසිනා කල්හී පහළට නැඹුරු වූ බිමට අනුව ජලය ගලා යයි ද, ස්වාමීනී, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකට වඩිනා සේක් ද, ඒ ඒ දිශාවට බ්‍රාහ්මණගෘහපතීහු නිගම ජනපදවාසීහු නැඹුරු වී සිටිත් ම ය. මක් නිසා ද යත්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සීලය හා ඥානය නිසාවෙනි.”
“නාගිතයෙනි, පිරිවර හා සමඟ මම එක් නොවෙම්වා! පිරිවර ද මා සමඟ එක් නොවේවා! නාගිතයෙනි, මම් යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලද සැපයක්, සංසිඳීමෙන් ලද සැපයක්, සම්බෝධි සැපයක්, කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, බොහෝ සෙයින් ලබන්නෙම් ද, එසේ මා ලබන මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය යම් කෙනෙකුට කැමති සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, බොහෝ සෙයින් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නිද්‍රා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.
1. නාගිතයෙනි, වැළඳූ, පානය කළ, අනුභව කළ, රස විඳි දැයෙහි වනාහී මලමුත්‍ර පහකිරීම පමණක් ඇත්තේ ය. ආහාරපානයන්ගෙන් ලැබෙන ඵලය එය යි.
2. නාගිතයෙනි, ප්‍රිය වූ දේවල්වල වෙනස්වීමෙන්, නැසී වැනසී අන්‍ය ස්වභාවයට පත්වීමෙන් ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදින්නාහ. ප්‍රිය වූ දෙයින් ලැබෙන ඵලය එය යි.
3. නාගිතයෙනි, අසුභ අරමුණු භාවනාවට නංවා මැනැවින් සිහිය පිහිටුවා ගෙන සිටින කෙනා හට සුභ නිමිත්ත කෙරෙහි පිළිකුල් බව පිහිටයි. අසුභ භාවනාවෙන් ලැබෙන ඵලය එය යි.
4. නාගිතයෙනි, ස්පර්ශ ආයතන හය පිළිබඳ ව අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් වසන්නහුට ස්පර්ශය කෙරෙහි පිළිකුල් බව පිහිටයි. අනිත්‍ය භාවනාවේ ඵලය එය යි.
5. පංච උපාදානස්කන්ධයන්හි හටගැනීම ත්, වැනසීම ත් නුවණින් දකිමින් වසන්නහුට උපාදානය පිළිබඳ ව පිළිකුල් බව පිහිටයි. උපාදානස්කන්ධ භාවනාවේ ඵලය එය යි.
සාදු! සාදු!! සාදු!!!
නාගිත සූත්‍රය නිමා විය.
තෙවෙනි පඤ්චංගික වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
අගාරව සූත්‍ර දෙක, උපක්කිලේස සූත්‍රය, දුස්සීල සූත්‍රය, අනුග්ගහ සූත්‍රය, විමුත්ති සූත්‍රය, සමාධි සූත්‍රය, පඤ්චංගික සූත්‍රය, චංකම සූත්‍රය සහ නාගිත සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M