30. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා. ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”
“පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.”
දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි ….(පෙ)…. “පින්වත් ආනන්ද, ඔහු ශ්‍රාවකයෙක් නෙව. නමුත් තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකියි.”
තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේමයි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේමයි පිළිගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැළැස්සුවා’ කියලා. ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”
“පින්වත් ආනන්ද, ඔබ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහලා තියෙනවද?”
“භාග්‍යවතුන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. සුගතයන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් එය මතක තබාගන්නවාමයි.”
“එසේ වී නම් පින්වත් ආනන්ද, සවන් යොමා අසන්න. ….(පෙ)…. පින්වත් ආනන්ද, යම්තාක් සඳ හිරුගේ ගමන්මග තිබෙනවා නම්, දිශාවන් බබලනවා නම්, ඒ තාක් තැන් සහස්‍රී ලෝකධාතුවයි. ඒ සහස්‍රී ලෝකධාතුවෙහි දහසක් චන්ද්‍රයන් තියෙනවා. දහසක් සූර්යයන් තියෙනවා. දහසක් සිනේරු පර්වත තියෙනවා. දහසක් දඹදිව් තියෙනවා. දහසක් අපරගෝයාන තියෙනවා. දහසක් උතුරුකුරු දිවයින් තියෙනවා. දහසක් පූර්ව විදේහයන් තියෙනවා. හාරදහසක් මහා සමුද්‍රයන් තියෙනවා. හාරදහසක් මහා රාජයන් ඉන්නවා. දහසක් චාතුම්මහාරාජික තියෙනවා. දහසක් තව්තිසාවන් තියෙනවා. දහසක් යාමයන් තියෙනවා. දහසක් තුසිතයන් තියෙනවා. දහසක් නිම්මාණරතීන් තියෙනවා. දහසක් පරනිම්මිත වසවත්තීන් තියෙනවා. දහසක් බ්‍රහ්මලෝක තියෙනවා. පින්වත් ආනන්ද, මේකට තමයි කියන්නේ ‘සහස්‍රී චූලනිකා ලෝක ධාතුව’ කියලා.
පින්වත් ආනන්ද, යම්තාක් සහස්‍රී චූලනිකා ලෝක ධාතුවක් වෙයිද, එබඳු වු ලෝකධාතූන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද, මේකට තමයි ‘ද්විසහස්‍රී මජ්ඣිමා ලෝක ධාතුව’ කියලා කියන්නේ.
පින්වත් ආනන්ද, යම්තාක් ද්විසහස්‍රී මජ්ඣිමා ලෝක ධාතුවක් වෙයිද, එබඳු වූ ලෝකධාතූන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද, මේකට තමයි ‘තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව’ කියල කියන්නේ.
පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැති වන සේක් නම්, තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සළස්වන්න පුළුවනි. තවත් කැමැති වෙනවා නම් එයටත් එහා කටහඬ අසන්නට සළස්වන්න පුළුවනි.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ කොයි ආකාරයෙන්ද? තවත් එහාට වුනත් කැමැති සේක් නම් ස්වරය අසන්නට සළස්වන්නේ කොයි ආකාරයෙන්ද?”
“පින්වත් ආනන්ද, මෙහිලා තථාගතයන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවනවා. යම් කලෙක එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනාගන්නවා නම්, එකල්හී තථාගතයන් වහන්සේ බ්‍රහ්මඝෝෂය කරනවා. ශබ්දය අසන්නට සළස්වනවා. පින්වත් ආනන්දය, ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ. තවත් එහාට වුනත් කැමැති සේක් නම් ස්වරය අසන්නට සළස්වන්නේ.”
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හට මෙකරුණ පැවසුවා. “මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක්ද, මෙවැනි මහා ආනුභාව ඇති සේක්ද, එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි. ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි” කියලා.
එසේ පැවසූ විට ආයුෂ්මත් උදායී තෙරුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කිව්වා. “කිම ආයුෂ්මත් ආනන්ද, ඔබගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක් නම්, මෙවැනි මහා ආනුභාව ඇති සේක් නම්, මෙහිලා ඔබ කවුද?”
මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි තෙරුන් හට මෙය වදාළා. “පින්වත් උදායි, එහෙම කියන්න එපා! පින්වත් උදායි එහෙම කියන්න එපා! ඉදින් උදායි, ආනන්දයන් රාගය ප්‍රහාණය නොකොට කළුරිය කරනවා නම්, ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කොට ගෙන සත්වරක් දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවනි. මේ දඹදිව් තලයේම සත්වරක් මහා රාජ්‍යය කරන්ටත් පුළුවනි. නමුත් උදායි, ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.”
සාදු! සාදු!! සාදු!!!
තුන්වෙනි ආනන්ද වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M